ශක්‍ර දේවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ මේ පළමුවැනි ප්‍රශ්නය ඇසුවේය. ´´නිදුකාණන් වහන්ස, මනුෂ්‍යයෝ ද, අසුරයෝ ද, නාගයෝ ද, ගන්ධර්වයෝ ද, මෙයින් අන්‍ය වූ බොහෝ ජනයෝ වෙත් නම් ඔව්හු ද ක්‍රෝධ නැත්තාහු, දඬුවම් නැත්තාහු, සතුරන් නැත්තාහු, සතුටු සිත් ඇත්තාහු, ´´අපි අවෛරීව වසන්නෙමු´´ යි ඔවුන්ගේ ප්‍රාර්ථනාවක් වේ ද, ඒ ඇති කල්හිත් ඔව්හු ක්‍රෝධ සහිත වූවාහු දඬුවම් සහිත වූවාහු, සතුරන් සහිත වූවාහු, සිත් අසතුටු සහිත වූවාහු, වෛර ඇත්තෝව වසති. ඒ කිනම් බැඳීම නිසාද?´´
භාග්‍යවතුන් වහන්සේ ඕ හට මෙය ප්‍රකාශ කළෝය. ´´දේවේන්ද්‍රය, ඊර්ෂ්‍යා මාත්සර්ය (අනුන්ගේ සම්පත් නොඉවසීම, තම සම්පත් හැඟවීම) යන බැඳුම් වලින් බැඳීම හේතු කොටගෙනය.´´
´´භාග්‍යවතුන් වහන්ස, එය එසේය. මාගේ සැකය දුරින්ම දුරුවිය.´´
16. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවේය. ´´නිදුකාණන් වහන්ස, අනුන්ගේ සැප නොඉවසීම හා තම සැඟවීම යන දෙක කුමක් මුල්කොට කුමක් හේතුකොට කුමක් ඇති කල්හි කුමක් ජාතිකොට කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම වේද? කුමක් නැති කල අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම නොවේද?´´ කීය.
´´දේවේන්ද්‍රය, අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම යන දෙක, ප්‍රිය වූ දේද, අප්‍රියවූ දේද, මූල කාරණාකොට හේතුව කොට ජාතිකොට ඉපදීම කොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය නැති කල්හි ඊර්ෂ්‍යාව හා මසුරු බව වන්නේය. ප්‍රිය අප්‍රිය නැති කල්හි ඊර්ෂ්‍යාව හා මසුරු බව නොවේයයි´´ කීවෝය.
17. ´´නිදුකාණන් වහන්ස, ප්‍රිය අප්‍රිය යන දෙක වනාහි කුමක් නිදානකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි ප්‍රිය අප්‍රිය දෙක වේ ද? කුමක් නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේද?´´ ඇසීය.
´´දේවේන්ද්‍රය, ප්‍රිය අප්‍රිය දෙක වනාහි ආශාව මූල්කොට හේතුකොට ජාතිකොට ඉපදීම කොට ඇත්තේය. ආශාව නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේ යයි´´ කීවෝය.
18. ´´නිදුකාණන් වහන්ස, ආශාව වනාහි කුමක් මුල්කොට කුමක් හේතුකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි ආශාව වේද? කුමක් නැති කල්හි ආශාව නොවේද?´´ ඇසීය.
´´දේවේන්ද්‍රය, ආශාව වනාහි හිතින් පරීක්‍ෂාකර බැලීම මූල්කොට, හේතුකොට ජාතිකොට, ඉපදීම කොට ඇත්තේය. හිතින් පරීක්‍ෂාකර බැලීම ඇති කල්හි ආශාව වේ. හිතින් පරීක්‍ෂාකර බැලීම නැති කල්හි ආශාව නොවේ යයි´´ කීවෝය.
19. ´´නිදුකාණන් වහන්ස, හිතින් පරීක්‍ෂාකර බැලීම වනාහි කුමක් මුල්කොට කුමක් හේතුකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම වේද? කුමක් නැති කල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම නොවේද?´´ ඇසීය.
´´දේවේන්ද්‍රය, හිතින් විනිශ්චය කිරීම වනාහි ප්‍රමාදයට හේතු වූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් මූල්කොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ජාතිකොට, ඉපදීම කොට ඇත්තේය. ප්‍රමාදයට හේතු වූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ඇති කල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම වේ. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් නැති කල්හි පරීක්‍ෂා කිරීම නොවේ යයි´´ කීවෝය.
20. ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නා වූ භික්‍ෂු තෙමේ ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදූණ හැඟීම දුරුකිරීමට සුදුසු වූ මාර්ගයෙහි පිළිපදින්නේ වේදැ´´යි ඇසුවේය.
´´දේවේන්ද්‍රය, මම සැප වේදනාව ද දුක් වේදනාව දුක සැප දෙකම මැදිහත් විඳීම ද යම් සැප වේදනාවක් මෙසේ දන්නේ ද, කෙසේද, මේ සොම්නස සේවනය කරන්නා වූ මට අකුසල ධර්මයෝ වැඩෙත් ද කුශල ධර්මයෝ පිරිහෙත් ද, මෙබඳු වූ සැප වේදනාව සේවනය නොකට යුතුයි. එහි යම් සැප වේදනාවක් මෙසේ දන්නේ ද? කෙසේද, මේ සැප වේදනාව සේවනය කරන්නා වූ මගේ අකුශල ධර්මයෝ පිරිහෙත් ද, කුශල ධර්මයෝ වැඩෙත් ද, මෙබඳු වූ සැප වේදනාව සේවනය කටයුතුයි. එහි යම් සැප වේදනාවක් විතර්ක රහිත විචාර රහිත සැප වේදනාව අතිශයින් උතුම්ය.´´
´´යම් දොම්නසක් සේවනය කිරීමෙන් අකුශල ධර්ම වැඩෙත්, කුශල ධර්ම පිරිහෙත්යයි දන්නේ ද ඒ දොම්නස සේවනය නොකළ යුතුයි. යම් දොම්නසක් සේවනය කිරීමෙන් අකුශල ධර්ම පිරිහෙත්, කුශල ධර්ම වැඩෙත්යයි දන්නේද ඒ දොම්නස් වේදනාව සේවනය කළ යුතුයි. එහි විතර්ක විචාර සහිත දොම්නසක් ඇත්තේද එයින් විතර්ක විචාර රහිත දොම්නස ප්‍රණීතතරය.´´
´´යම් උපේක්‍ෂාවක් සේවනය කරන්නා වූ මට කුශල ධර්මයෝ පිරිහෙත්, අකුශල ධර්මයෝ වැඩෙත්ය යි දන්නේ නම් ඒ උපේක්‍ෂාව සේවනය නොකළ යුතුයි. එහි යම් උපේක්‍ෂාවක් සේවනය කරන්නා වූ මට අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේ නම් ඒ උපේක්‍ෂාව සේවනය කළ යුතුයි. එහි යම් උපේක්‍ෂාවක් විතර්ක සහිත ද, විචාර සහිතද , යම් උපේක්‍ෂාවක් විතර්ක රහිත ද, විචාර රහිත ද ඒ අවිතර්ක අවිචාර උපේක්‍ෂාව අතිශයින් ප්‍රණීතය. දේවේන්ද්‍රය, මෙසේ පිළිපදින්නාවූ භික්‍ෂු තෙමේ ප්‍රමාදයට හේතු වූ ආශාව සමඟ යෙදුණ හැඟීම සංසිඳවීමම සුදුසු මාර්ගයයි කියන ලද ප්‍රතිපදාවට පිළිපන්නේ වේ´´යයි ප්‍රකාශ කළෝය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රකාශ කළෝය. සතුටු සිත් ඇත්තා වූ ශක්‍ර දේවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.
21. මෙසේ මෙහිදී ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නා වූ භික්‍ෂු තෙම සීල සංවරය පිණිස පිළිපදින්නේ වේ ද?´´
´´දේවේන්ද්‍රය, මම කයේ පැවැත්මද , වචනයේ පැවැත්ම ද, සෙවීම ද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්ත ද සේවනය නොකටයුත්ත ද යනුවෙනි.´´
´´යම් ශරීරයේ පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නා වූ මට අකුසල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්ය යි දන්නේ ද, මෙබඳු වූ කායික පැවැත්ම සේවනය නොකටයුතුයි. එහි යම් කායික පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නා වූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත් යයි දන්නේ ද, මෙබඳු වූ කායික පැවැත්ම සේවනය කටයුතුයි.´´
´´යම් වචනයේ පැවැත්මක් මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නා වූ මට අකුසල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත් යයි දන්නේ ද, මෙබඳු වූ වචනයේ පැවැත්ම සේවනය නොකටයුතුයි. මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නා වූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත් යයි දන්නේ ද, මෙබඳු වූ වචනයේ පැවැත්ම සේවනය කටයුතුයි.´´
´´මේ පර්යේසනය (සෙවීම) සේවනය කරන්නා වූ මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත් යයි යම් සෙවීමක් මෙසේ දන්නේ ද, මෙබඳු වූ පර්යේසනය සේවනය නොකටයුතුයි. එහි මේ පර්යේසනය සේවනය කරන්නා වූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත් යයි යම් මේ පර්යේසනයක් මෙසේ දන්නේ ද, මෙබඳු වූ පර්යේසනය සේවනය කටයුතුයි. දේවේන්ද්‍රය, මම පර්යේසනය ද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්ත ද සේවනය නොකටයුත්ත ද යනුවෙනැයි මෙසේ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදි.´´
´´දේවේන්ද්‍රය, මෙසේ පිළිපදින්නා වූ භික්‍ෂු තෙමේ ප්‍රාතිමෝක්‍ෂ සංවරය පිණිස පිළිපදින්නේය´´යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ප්‍රශ්න වලට උත්තර දුන්නෝය. සතුටු සිත් ඇත්තා වූ ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය. අනුමෝදන් විය.
22. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ඒ කෙසේද? ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නා වූ භික්‍ෂු තෙමේ ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්නේ වේදැයි´´ කියායි.
´´දේවේන්ද්‍රය, මම ඇසින් බලා දත යුතු වූ රූපයද, කණින් අසා දත යුතු වූ ශබ්දය ද, නාසයෙන් ගඳ සුවඳ විඳ දත යුතු වූ ගන්ධය ද, දිවෙන් රස විඳ දත යුතු වූ රසය ද, ශරීරයෙන් ස්පර්ශ කොට දත යුතු වූ ස්පර්ශය ද, සිතෙන් පරීක්‍ෂාකොට බලා දත යුතු වූ ධර්මය ද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්ත ද සේවනය නොකටයුත්තද යනු යයි´´ කීවාහුය.
23. මෙසේ කී කල ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය දැන්නුවේය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද මේ ධර්මයාගේ අර්ථය මම විස්තර වශයෙන් දනිමි. ස්වාමීන් වහන්ස, යම් බඳු වූ ඇසට පෙනෙන රූපයක් සේවනය කරන්නහුගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත් ද මෙබඳු වූ ඇසට පෙනෙන්න වූ රූපය සේවනය නොකටයුතුයි. ස්වාමීනි, යම් බඳු වූ ඇසට පෙනෙන රූපයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත් ද, කුශල ධර්මයෝ වැඩෙත් ද, මෙබඳු වූ ඇසට පෙනෙන රූපය සේවනය කටයුතුයි.´´
´´ස්වාමීනි, යම් බඳු වූ කණට ඇසෙන ශබ්දයක්, නාසයෙන් ගඳ සුවඳ විඳ දැනගන්නා වූ ගන්ධයක්, දිවට දැනෙන්නා වූ රසයක්, ශරීරයට දැනෙන්නා වූ ස්පර්ශයක්, සිතින් දැනගන්නා වූ ධර්මයක් සේවනය කරන්නහුගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත් ද මෙබඳු වූ දැනගන්නා වූ ධර්ම තෙමේ සේවනය නොකටයුතුයි. ස්වාමීන් වහන්ස, යම් බඳු වූ දැනගන්නාවූ ධර්මයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත් ද, කුශල ධර්මයෝ වැඩෙත් ද, මෙබඳු වූ දැනගන්නා වූ ධර්මයෝ සේවනය කටයුතුයි.´´
´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද මේ ධර්මයාගේ අර්ථ විස්තරයෙන් දන්නා වූ මා විසින් මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා සැකය දුරු කරන ලදි.´´
24. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය.
´´සියළුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සමාන වාද ඇත්තාහු ද, සමාන ඡන්ද ඇත්තාහු ද, සමාන කෙළවර ඇත්තාහු ද?´´
´´දේවේන්ද්‍රය, සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝ ද, සමාන ඡන්ද ඇත්තෝ ද, සමාන කෙළවර ඇත්තෝ ද නොවෙත්ම යයි´´ කීවාහුය.
´´නිදුකාණන් වහන්ස, කවර හෙයකින් සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝ ද, සමාන ඡන්ද ඇත්තෝ ද, සමාන කෙළවර ඇත්තෝ ද නොවෙද්ද?´´
´´දේවේන්ද්‍රය, ලෝක සත්ව තෙමේ අනේක අදහස් නොයෙක් අදහස් ඇත්තේමය. ලෝකයේ සත්වයෝ යම් යම් අදහස් ගනිත් ද, ඒ ඒ අදහස්ම දැඩිසේ ගෙන යහපත් ලෙස ගෙන මේ අපගේ වචනයම සත්‍යයි අන්‍යයන්ගේ වචනය වරදයයි කියත්. එහෙයින් සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝ ද, සමාන ලබ්ධි ඇත්තෝ ද, සමාන කෙළවර ඇත්තෝ ද නොවෙත් යයි´´ කීවෝය.
25. ´´නිදුකාණන් වහන්ස, සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම විනාශය කෙළවර කිරීමක් ඇත්තෝ ද, විනාශය ඉක්මවන්නා වූ සසර බැඳීම් සිඳින්නා වූ නිර්වාණය ඇත්තෝ ද, විනාශය කෙළවර කරන උතුම් හැසිරීම ඇත්තෝ ද, නිත්‍ය වූ අවසානයක් ඇත්තෝ ද´´
´´දේවේන්ද්‍රය, සියළු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එසේ ඇත්තෝ ද නොවෙත්ය යි´´ කීවාහුය.
´´නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියළු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත යෝගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ නොවෙත් ද?´´
´´දේවේන්ද්‍රය, යම් ඒ මහණ බමුණෝ තණ්හාව ක්‍ෂය කිරීමෙන් මිදුනාහු වෙත් ද, අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත යෝගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ වෙත්.´´
´´එහෙයින් සියළු මහණ බමුණෝ අත්‍යන්ත ඉක්ම වූ නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත ඉක්ම වූ යෝගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ, අත්‍යන්ත ඉක්ම වූ බඹසර ඇත්තෝ, අත්‍යන්ත ඉක්ම වූ කෙළවර ඇත්තෝ නොවෙත් යයි´´ කීවාහුය.
26. මෙසේ මෙහි ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, තණ්හාව රෝගයකි. තණ්හාව ගඩයකි. තණ්හාව උලකි. තණ්හාව මේ පුරුෂයා ඒ ඒ භවයාගේ ඉපදීම පිණිස අදින්නේය. එහෙයින් මේ පුරුෂයා උස් පහත් බවට පැමිණේ.´´
27. ´´ස්වාමීන් වහන්ස, යම් බඳු වූ ප්‍රශ්නයන් සම්බන්ධව මෙයින් පිට අන්‍ය වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් මම අවකාශ මාත්‍රයකුදු නොලද්දෙම් ද, බොහෝ කලක සිට පැවැත්තා වූ ඒ ප්‍රශ්නයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මට ප්‍රකාශ කරන ලද්දාහ. මාගේ යම් බඳු වූ විචිකිච්ඡා සංඛ්‍යාත කෙසේදැයි පැවති හුලක් වූයේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් එයද උදුරන ලද්දේ යයි´´ දැන්නුවේය.