
දෙවියන් වහන්සේ සර්වබලධාරීය. ලෝකය දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව පාලනය කරනු ලබයි. නමුත් ලෝකයා වැරදි කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව නොව සාතන්ගේ කැමැත්තට අනුවය. සාතන්ට එසේ කිරීමට බලය ලබා දී ඇත්තේ ද දෙවියන් වහන්සේමය. සාතන්ගේ පෙළඹවීම් මත මිනිසුන් වරදට පෙළඹෙති. මිනිසුන් වරදට පොළඹවමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය හිමිකර ගැනීමට සාතන් නොකරනා දෙයක් නැත. දෙවියන් වහන්සේගේ රාජ්‍යය රැක ගැනීම වෙනුවෙන් දෙවියන් වහන්සේ විසින් පොළවට සාතන් හා ඔහුගේ ගෝලයන් පිටමං කරනු ලැබු තැන් පටන් ඔහු පොළවේ මිනිසුන් නොයෙක් ආකාරයේ දුෂ්ඨ ක්‍රියාවන්ට පොළඹවන ලදි. වරදකරුවා සාතන් වන අතර එම සාතන්ගේ පෙළඹවීමට අනුව වරදට පෙළඹෙන මිනිසුන් අහිංසකය. ඔවුන්ද මවන ලද්දේ දෙවියන් වහන්සේ විසිනි. නමුත් තමන් කෙරෙහි පක්ෂපාතීත්වය තබා නොගෙන සාතන්ගේ අණසකට යටත් ව දුෂ්ඨ ක්‍රියාවන්ට සහාය දෙමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පිටුපා යන මිනිසුන්ට දඩුවම් පැමිණ වීම වෙනුවෙන් අන්තිම විනිශ්චයෙහිදී වැරදි කරන ලද මිනිසුන් සදාකාලික නිරයට පත් කිරීමට දෙවියන් වහන්සේට සිදුවී තිබේ. මෙය කියවන ඔබ විසින් අමතද්වාරයෙහි ශ්‍රමණ මේ කරන්න යන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව හෝ මෙයා මේ වක්‍රව කරන්න යන්නේ කතෝලික දහම ප්‍රචාරය කරන එකයි කියා හෝ වුවද නිගමනයකට එළබෙනු ඇත. නැත. මේ මාගෙ අදහස හෝ පිළිගැනීම නොවේ මෙ ඉහත ඡේදයෙන් දක්වනු ලැබුයේ. බයිබලයේ මිනිසුන්ගේ දුෂ්චරිතයන්ට හේතු හැටියට ඉදිරිපත් කර ඇති කරුණුය. බයිබලය ලෝකයේ හා මිනිසාගේ නිර්මාණය ගැන කතා කරති. සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සොඳුරු නිමැවුමක් වු මිනිසා මේ තරම් නපුරු නරක දුෂ්ඨ ක්‍රියාවන්ට හා කොටින්ම දෙවියන් වහන්සේව නොසලකා වෙනත් ආගමික ඇදහිලා කරා ඇදී ගොස් ඇත්තේ මක්නිසාද. දෙවියන් වහන්සේගේම නිර්මාණයක් වුව ලෝකය තමන් වහන්සේගේ කැමැත්තට අනුව පාලනය කරගත නොහැකි තත්වයක් උදාවි ඇත්තේ ඇයි. මේ ගැටළුව ලස්සනට නිරාකරණය කරන බයිබලය එයට සාතන් ඇදා ගනියි. සාතන් යනු යක්ෂයාය දෙවියන් වහන්සේ හා සමතැනට පත්වීමට කෑදර කමින් සිටි දෙවියන් වහන්සේට ලැබෙන සැලකුම් හා පුජණීයත්වයට ඊරිසයාකාර ස්වර්ගරාජ්‍යයේම හිටි එක්තරා දේවදුතයෙකි සාතන්. සාතන් හා ඔහුගේ යටත් වැසියන් දෙවියන් වහන්සේව අභිබවා යන්නට සිතු අතර ඔවුන් දෙවියන් වහන්සේ සමග යුද වදී. දෙවියන් වහන්සේගේ දේවදුතයන් ඔවුන් පරාජයට පත් කරනු ලබන අතර එම පාරාජයට පත්වෙන සාතන් හා ඔහුගේ පිරිස දෙවියන් වහන්සේ විසින් මනුලොවට හෙලනු ලබයි. ඒ හේතුකරගෙන සිදුව ඇත්තේ මනුලොව මිනිසුන් තුල දුෂ්ඨ ආකල්ප වැපිරවීම ය. සාතන් මිනිසුන් හරහා දෙවියන් වහන්සේගේ බලයට යම් තර්ජනයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටී.
මේ ක්‍රියාව නුරුස්සන දෙවියන් වහන්සේ සාතන්ගේ කැමැත්තට නතු වන දුෂ්චරිතයට යොමු වෙන මිනිසුන්ට හා ස්වර්ග රාජ්‍යයට පිටුපා යන්නන්ට දඩුවම් දීමට කටයුතු කරයි. අන්තිම විනිශ්චය හා සදාකාලික නිරය ඒ වෙනුවෙන් ඇති අවසාන අධිකරණය හා තීන්දුවයි. කතෝලික බැතිමත්හු මේ ඉහත කියන ලද විස්තරයට අනුව තම ආගම අදහති.
ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් විවේචනය කල හැකිය. නමුත් මා කිසිම ආගමක් අපහාසට පත් නොකර කතා කරන්නට කැමැතිය. දෙවියන් වහන්සේගේ දරුවන් වන ඔවුන් දෙවියන් වහන්සේට පක්ෂව කටයුතු කරමින් දෙවියන් වහන්සේ කරා යන්නටත් ස්වර්ගරාජ්‍යයයේ උපත ලබන්නටත් බලාපොරොත්තු වෙයි. දෙවියන් වහන්සේගේ අනසකට පිටුපා යන මිනිසුන් සාතන්ගේ පෙළඹවීමට ලක්වු දුෂ්ඨයන් ලෙස හංවඩු ගැසෙන අතර ඔවුන් මහා භයානක වු සාපරාධී ක්‍රියාවක නිරතව සිටිතියිද සිතයි. බයිබලය අකුරක් නෑර විස්වාස කරන්නෝ සාතන්ගේ පාර්ෂව කරුවන් එකාන්තයෙන්ම නිරයට පමුණුවනු ලබන බව විස්වාස කරති. අන්‍ය ආගමිකයන් කුමක් කලද ඔවුන් දෙවියන් වහන්සේ පිළිබදව විස්වාස නොකිරීම හේතු කරගෙන අවිස්වාසවන්තයින් වන අතර ඔවුන් සියල්ලම සදාකාලික නිරයට යැවෙන බවද එම බැතිමත්හු විස්වාස කරති. ඔවුන් එසේ විස්වාස කරනු ලබන්නේ බයිබලය එසේ පවසන නිසාය. ඔවුන් ක්‍රියාවක ප්‍රතිඵලය ගැන කතා කරනමුත් , කර්මය සත්වයාගේ ජිවිත හා සම්බන්ධයක් ඇති බව නොපිලිගනියි. සත්වයාගේ ජිවිතය සම්පුර්ණයෙන්ම යහපත් හෝ අයහපත් වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා යයි ඔව්හු විස්වාස කරති.
මා මේ කතාව ලියන්නට හේතුවක් තිබේ. එනම් පෙර දිනෙක දහම් සභාවේ දමා තිබූ විඩියො පටයය. විනාඩි 19ක් තරම් වු එයට සාවධානව සවන් දුන් මට එය පවසන තැනැත්තිය කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති වු බව කිව යුතුය. ඇය දෙවියන් වහන්සේගේ වචනය විස්වාස කරනු ලබන අතර බුදු දහමෙහි අගය කරන දන්දීමෙන් වැඩක් නැති බවත් ඒවා සිදු කරනු ලබන්නේ පින් සලකාගෙන මිස මිනිසුන්ට උපකාර කිරීම පිණිස නොවන බවත් ඇය විස්වාස කරනු ලබයි එතැනින් නොනවතින ඇය ඒවායේ කිසි තේරුමක් නැතිබව හා දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනා ගැනීම වෙනුවෙන් දේව වචනයට අනුව නැති බැරි අයට සැලකීම හා යම් පරිත්‍යාගයන් කිරීම ඵල සහිත බවත් එයින් ස්වර්ගරාජ්‍යයට අතුලු වීමට හැකි බවත් පවසයි.
නමුත් බුදු රජාණන් වහන්සේ විසින් එවැන්නක් නොකියන ලද අතර. භග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ දානය(පරිත්‍යාගසීලි බව) ප්‍රිය වචනය , සමානාත්මතාවය, අර්ථචරියාව යන සතර ලෝකයේ සත්පුරුෂයන් විසින් සම්මත කරගන්නා ලද දේවල් වන බවත්, ඒවා සතර සංග්‍රහ වස්තූන් බවත්ය. එම සතර සංග්‍රහ වස්තූන් නිසා මිනිසුන්ගේ මෙලොවත් පරලොවත් යහපත සැපත පිණිස පවතින බවය. එයින් දානය ගැන පමණක් ගත්තද දන් දෙන තැනැත්තා හැම දෙනාගේම ප්‍රසංසාවට බදුන් වන අතර කව්රුත් ඔහුගේ ගුණ කතා කරති. දන් දීම නිසා ඔහුට ඇති වෙන මේ ජිවතයේදීම ලැබෙන විපාකයන්ගෙන් එකක් වෙන එය පමණක් නොව පරලොව ජිවිතයේදීද අඩුපාඩුකම් නොමැතිව මහත් සැප ඇතිව උපත ලබන්නට ලබන ජීවිත සැපවත් කර ගැනීම පිණිසත් එය හේතුවක් බවට පත්වේ. මක් නිසාද සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව නොව අප කරන කියන දේට අනුව වීම නිසා ය. අප වපුරන්නේ යමක්ද එයට අනුව අස්වැන්න ලැබෙන්නාක් මෙන් අප කයින් වචනයෙන් සිතින් සිදු කරනු ලබන්නේ යමක්ද එයට අනුව විපාක ලැබීම සිදුවෙයි.
ඒ වනාහී බුදු දහමෙහි න්‍යයායය. නමුත් කතෝලික බැතිමත්හු මේම බුදු දහමෙහි න්‍යායට එකග නොවේ. එය නිරර්ථක බව කියන ඔවුන් එයට නොයෙක් හේතුන් ගෙන හැර දක්වති. කතෝලික දහම හා වෙනත් බොහෝ ආගමික මතවල මූලය වන දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සියල්ල සිදුවන්නේ යයි පවසතත් මිනිසුන්ගේ දුෂ්ඨ ක්‍රියාවන් සිදුවන‍්නේ සාතන්ගේ කැමැත්තට අනුවයයි කීමෙන් පරස්පර විරොධීවන එම න්‍යයාය ගැන ඔවුන් කල්පනා නොකරති සියලු යහපත් දේ සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුවය. එහෙත් සියළුම අහපත නපුර සිදුවන්නේ සාතන්ගේ කැමැත්තට අනුවය යයි ඔවුන් පවසන්නේ නම් එය පිළිගත හැකිය. එහෙත් එයින් සිදුවන්නේ එසේ නම් සර්වබලධාරී දෙවියන් වහන්සේට හා සමාන තැනක් සාතන්ටද ඇති බවය. සාතන්ට එම බලය ලබාදීම කරණ ලද්දේ කව්රුන්ද යන බවය. සියල්ලෙහි මැවුම් කරුවාණන් වන දෙවියන් වහන්සේ සාතන්ට එම බලය ලබා දී ඇතැයි පවසන බයිබලය. දෙවියන් වහන්සේගේ මේ හිතුවක්කාර ක්‍රියාව නිසා අප්‍රමාණ ලෝක සත්වයන් මහත් දුකකට ඇද දමණ ලද්දේ දෙවියන් වහන්සේය යන්න පිළිගැනීමට මැලිවෙති. මක් නිසාද සර්වබලධාරී වුද සාමයේ පණිවිඩ කරුවා වුද කරුණාවේ මුර්තිය වුද දෙවියන් වහන්සේ එසේ කරතියි කීමට ඔවුන්ගේ දිව නොනැමෙන නිසාය.
දේව මැවුම් වාදය. ඒක දේව වාදය, නිර්මාණවාදය යනාදීය අධිමාණසික හැකියාවන් ඇතිව සිටි සෘෂිවරු වැනි මිනිසුන්ගේ පරි පුර්ණ නොවන වටහා ගැනීම් නිසා ලෝකයට උරුම වු දෘෂ්ඨින් බව කියන බුදු දහම එම දේව මැවුම් වාදය සම්පුර්ණයෙන්ම බැහැරලයි. නිර්මාණ වාදී අදහස් සම්පුර්ණයෙන්ම බැහැර කරන බුදු දහම ඔවුන්ගේ සියළු ආකල්පයන්ට පැහැදිලි පිළිතුරක් සපයයි. එනම් ඒවා මිනිසුන්ගේ පටු අවබෝධය හේතු කරගෙන සිදු වු දාර්ශණීක වැරදි වැටහීම් ලෙසය. එම වැරදි වැටහීම් මුල් කරගෙන මිනිසුන් විසින් නිර්මාණය කරගත් මේ ආගමික මත නිසා මිනිසුන් නොමගට යන බවත්, සත්‍යයයෙන් එපිටට යන බවත් පවසන බුදු දහම සත්වයන්ගේ ජිවන පැවැත්ම පටිච්ච සමුප්පාදයට අනුව සිදුවෙන අයුරු පෙන්වා දෙයි.
ඉහත විස්තර කරණ බුදු දහමෙහි මතය ගැන මදක් විමසා බැලුව විට එය බයිබලයෙහි කරුණු හා කෙතෙරම් දුරට ගැලපේ දැයි කියා විමසා බැලිය යුතුය. මදක් විමසා බලන්න. මිනිසුන් දෙවියන් වහන්සේ විසින් මවන ලද නම් දෙවියන් වහන්සේ සර්වබලධාරී නම් මෙවන් අඩුපාඩු කම් සහිතව මේ ලෝකය මැව්වේ මක්නිසාද. ලෝකය සම්පුර්ණ යහපත් තැනක් බවට පත් කලයුතුව තිබිය දී එයට යහපත හා නපුර කලවම් කිරීම දෙවියන් අතින් සිදුවු වරදක් නොවේද, දෙවියන් අතින් එසේ සිදුවුනා නම් එයට වගකිව යුත්තාද දෙවියන් ම නොවේද. මේවා මෙසේ විග්‍රහ කරගැනීමෙන් මෙම ඉහත දේවමැවුම් වාදී සංකල්පයන් කෙතරම් දුරට මිනිසුන් අතින් ගොඩ නැගුණු දේවල් ද යන්න හා මනාකොට විමසා බලන්නේ නම් ඒවා ඇස් පනාපිට හුදු සංකල්පයන් බව ඔප්පු වෙන බවත් ය.
වෙනත් ආගමික මතයක් ගැරහීම අපට තරම් නොවේ. නමුත් මා මෙතෙක් පැවසුවේ බුදු රජාණන් වහන්සේ විසින් මතුකොට පෙන්වා ඇති දහම තුල ප්‍රායෝගිකවම මිනිසාගේ පරිහාණියට හේතු දක්වා ඇති අතර එසේම මිනිසා තුල ඇති මේ දුර්වලතාවයන් ඉක්මවා යන අයුරුද පැහැදිලිව පෙන්වා දී ඇති බව පැවසීමට හා බුදු රජාණනන් වහන්සේගේ ඉගැන්වීම් වල දොස් දක්වන්නට ඉදිරිපත් වෙන අය කෙරෙහි මහත් කරුණාවෙන් යුතුව ඔවුන්ගේ වැරදි වැටහීම් දුර කරගෑනීමට සුළු හෝ උපකාරයක් වේවා යන පැතුමෙන් යුතුවය. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණ පත්තියා.

No comments:
Post a Comment
මේ ලිපි පිළිබදව ඔබට යමක් කියන්නට ඇත්නම් මේ ඉඩ හසර ඒ සදහායි.