Oct 7, 2011

දේව මැවුම් වාදය හා බුදු දහම


දෙවියන් වහන්සේ සර්වබලධාරීය. ලෝකය දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව පාලනය කරනු ලබයි. නමුත් ලෝකයා වැරදි කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව නොව සාතන්ගේ කැමැත්තට අනුවය. සාතන්ට එසේ කිරීමට බලය ලබා දී ඇත්තේ ද දෙවියන් වහන්සේමය. සාතන්ගේ පෙළඹවීම් මත ‍මිනිසුන් වරදට පෙළඹෙති. මිනිසුන් වරදට පොළඹවමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය හිමිකර ගැනීමට සාතන් නොකරනා දෙයක් නැත. දෙවියන් වහන්සේගේ රාජ්‍යය රැක ගැනීම වෙනුවෙන් දෙවියන් වහන්සේ විසින් පොළවට සාතන් හා ඔහුගේ ගෝලයන් පිටමං කරනු ලැබු තැන් පටන් ඔහු පොළවේ මිනිසුන් නොයෙක් ආකාරයේ දුෂ්ඨ ක්‍රියාවන්ට පොළඹවන ලදි.  වරදකරුවා සාතන් වන අතර එම සාතන්ගේ පෙළඹවීමට අනුව වරදට පෙළඹෙන මිනිසුන් අහිංසකය. ඔවුන්ද මවන ලද්දේ දෙවියන් වහන්සේ විසිනි. නමුත් තමන් කෙරෙහි පක්ෂපාතීත්වය තබා නොගෙන සාතන්ගේ අණසකට යටත් ව දුෂ්ඨ ක්‍රියාවන්ට සහාය දෙමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පිටුපා යන මිනිසුන්ට දඩුවම් පැමිණ වීම වෙනුවෙන් අන්තිම විනිශ්චයෙහිදී  වැරදි කරන ලද මිනිසුන් සදාකාලික නිරයට පත් කිරීමට දෙවියන් වහන්සේට සිදුවී තිබේ. 


මෙය කියවන ඔබ විසින් අමතද්වාරයෙහි ශ්‍රමණ මේ කරන්න යන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව හෝ මෙයා මේ වක්‍රව කරන්න යන්නේ කතෝලික දහම ප්‍රචාරය කරන එකයි කියා හෝ වුවද නිගමනයකට එළබෙනු ඇත. නැත. මේ මාගෙ අදහස හෝ පිළිගැනීම නොවේ මෙ ඉහත ඡේදයෙන් දක්වනු ලැබුයේ. බයිබලයේ මිනිසුන්ගේ දුෂ්චරිතයන්ට හේතු හැටියට ඉදිරිපත් කර ඇති කරුණුය. බයිබලය ලෝකයේ හා මිනිසාගේ නිර්මාණය ගැන කතා කරති. සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සොඳුරු නිමැවුමක් වු මිනිසා මේ තරම් නපුරු නරක දුෂ්ඨ ක්‍රියාවන්ට හා කොටින්ම දෙවියන් වහන්සේව නොසලකා වෙනත් ආගමික ඇදහිලා කරා ඇදී ගොස් ඇත්තේ මක්නිසාද. දෙවියන් වහන්සේගේම නිර්මාණයක් වුව ලෝකය තමන් වහන්සේගේ කැමැත්තට අනුව පාලනය කරගත නොහැකි තත්වයක් උදාවි ඇත්තේ ඇයි. මේ ගැටළුව ලස්සනට නිරාකරණය කරන බයිබලය එයට සාතන් ඇදා ගනියි. සාතන් යනු යක්ෂයාය දෙවියන් වහන්සේ හා සමතැනට පත්වීමට කෑදර කමින් සිටි දෙවියන් වහන්සේට ලැබෙන සැලකුම් හා පුජණීයත්වයට ඊරිසයාකාර ‍ස්වර්ගරාජ්‍යයේම හිටි එක්තරා ‍දේවදුතයෙකි සාතන්. සාතන් හා ඔහුගේ යටත් වැසියන් දෙවියන් වහන්සේව අභිබවා යන්නට සිතු අතර ඔවුන් දෙවියන් වහන්සේ සමග යුද වදී. දෙවියන් වහන්සේගේ දේවදුතයන් ඔවුන් පරාජයට පත් කරනු ලබන අතර එම පාරාජයට පත්වෙන සාතන් හා ඔහුගේ පිරිස දෙවියන් වහන්සේ විසින් මනුලොවට හෙලනු ලබයි. ඒ හේතුකරගෙන සිදුව ඇත්තේ මනුලොව මිනිසුන් තුල දුෂ්ඨ ආකල්ප වැපිරවීම ය. සාතන් මිනිසුන් හරහා දෙවියන් වහන්සේගේ බලයට යම් තර්ජනයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටී. 

මේ ක්‍රියාව නුරුස්සන දෙවියන් වහන්සේ සාතන්ගේ කැමැත්තට නතු වන දුෂ්චරිතයට යොමු වෙන මිනිසුන්ට හා ස්වර්ග රාජ්‍යයට පිටුපා යන්නන්ට දඩුවම් දීමට කටයුතු කරයි. අන්තිම විනිශ්චය හා සදාකාලික නිරය ඒ වෙනුවෙන් ඇති අවසාන අධිකරණය හා තීන්දුවයි. කතෝලික බැතිමත්හු මේ ඉහත කියන ලද විස්තරයට අනුව තම ආගම අදහති. 


ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් විවේචනය කල හැකිය. නමුත් මා කිසිම ආගමක් අපහාසට පත් නොකර කතා කරන්නට කැමැතිය. දෙවියන් වහන්සේගේ දරුවන් වන ඔවුන් දෙවියන් වහන්සේට පක්ෂව කටයුතු කරමින් දෙවියන් වහන්සේ කරා යන්නටත් ස්වර්ගරාජ්‍යයයේ උපත ලබන්නටත් බලාපොරොත්තු වෙයි. දෙවියන් වහන්සේගේ අනසකට පිටුපා යන මිනිසුන් සාතන්ගේ පෙළඹවීමට ලක්වු දුෂ්ඨයන් ලෙස හංවඩු ගැසෙන අතර ඔවුන් මහා භයානක වු සාපරාධී ක්‍රියාවක නිරතව සිටිතියිද සිතයි. බයිබලය අකුරක් නෑර විස්වාස කරන්නෝ  සාතන්ගේ පාර්ෂව කරුවන් එකාන්තයෙන්ම නිරයට පමුණුවනු ලබන බව විස්වාස කරති. අන්‍ය ආගමිකයන් කුමක් කලද ඔවුන් දෙවියන් වහන්සේ පිළිබදව විස්වාස නොකිරීම හේතු කරගෙන අවිස්වාසවන්තයින් වන අතර ඔවුන් සියල්ලම සදාකාලික නිරයට යැවෙන බවද එම බැතිමත්හු විස්වාස කරති. ඔවුන් එසේ විස්වාස කරනු ලබන්නේ බයිබලය එසේ පවසන නිසාය. ඔවුන් ක්‍රියාවක ප්‍රතිඵලය ගැන කතා කරනමුත් , කර්මය සත්වයාගේ ජිවිත හා සම්බන්ධයක් ඇති බව නොපිලිගනියි. සත්වයා‍ගේ ජිවිතය සම්පුර්ණයෙන්ම යහපත් හෝ අයහපත් වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා යයි ඔව්හු විස්වාස කරති. 

 මා මේ කතාව ලියන්නට හේතුවක් තිබේ. එනම් පෙර දිනෙක දහම් සභාවේ දමා තිබූ විඩියො පටයය. විනාඩි 19ක් තරම් වු එයට සාවධානව සවන් දුන් මට එය පවසන තැනැත්තිය කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති වු බව කිව යුතුය. ඇය දෙවියන් වහන්සේගේ වචනය විස්වාස කරනු ලබන අතර බුදු දහමෙහි අගය කරන දන්දීමෙන් වැඩක් නැති බවත් ඒවා සිදු කරනු ලබන්නේ පින් සලකාගෙන මිස මිනිසුන්ට උපකාර කිරීම පිණිස නොවන බවත් ඇය විස්වාස කරනු ලබයි එතැනින් නොනවතින ඇය ඒවායේ කිසි තේරුමක් නැතිබව හා දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනා ගැනීම වෙනුවෙන් දේව වචනයට අනුව නැති බැරි අයට සැලකීම හා යම් පරිත්‍යාගයන් කිරීම ඵල සහිත බවත් එයින් ස්වර්ගරාජ්‍යයට අතුලු වීමට හැකි බවත් පවසයි. ‍

නමුත් බුදු රජාණන් වහන්සේ විසින් එවැන්නක් නොකියන ලද අතර. භග්‍යවතුන් වහන්සේ විසින් දේශනා ‍කොට ඇත්තේ දානය(පරිත්‍යාගසීලි බව) ප්‍රිය වචනය , සමානාත්මතාවය, අර්ථචරියාව යන සතර ලෝකයේ සත්පුරුෂයන් විසින් සම්මත කරගන්නා ලද දේවල් වන බවත්,  ඒවා සතර සංග්‍රහ වස්තූන් බවත්ය. එම සතර සංග්‍රහ වස්තූන් නිසා මිනිසුන්ගේ මෙලොවත් පරලොවත් යහපත සැපත පිණිස පවතින බවය.  එයින් දානය ගැන පමණක් ගත්තද දන් දෙන තැනැත්තා හැම දෙනාගේම ප්‍රසංසාවට බදුන් වන අතර කව්රුත් ඔහුගේ ගුණ කතා කරති. ‍දන් දීම නිසා ඔහුට ඇති වෙන මේ ජිවතයේදීම ලැබෙන විපාකයන්ගෙන් එකක් වෙන එය පමණක් නොව පරලොව ජිවිතයේදීද අඩුපාඩුකම් නොමැතිව මහත් සැප ඇතිව උපත ලබන්නට ලබන ජීවිත සැපවත් කර ගැනීම පිණිසත් එය හේතුවක් බවට පත්වේ. මක් නිසාද සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව නොව අප කරන කියන දේට අනුව වීම නිසා ය. අප වපුරන්නේ යමක්ද එයට අනුව අස්වැන්න ලැබෙන්නාක් මෙන් අප කයින් වචනයෙන් සිතින් සිදු කරනු ලබන්නේ යමක්ද එයට අනුව විපාක ලැබීම සිදුවෙයි. 

ඒ වනාහී බුදු දහමෙහි න්‍යයායය. නමුත් කතෝලික බැතිමත්හු මේම බුදු දහමෙහි න්‍යායට එකග නොවේ. එය නිරර්ථක බව කියන ඔවුන් එයට නොයෙක් හේතුන් ගෙන හැර දක්වති. කතෝලික දහම හා වෙනත් බොහෝ ආගමික මතවල මූලය වන දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සියල්ල සිදුවන්නේ යයි පවසතත් මිනිසුන්ගේ දුෂ්ඨ ක්‍රියාවන් සිදුවන‍්නේ සාතන්ගේ  කැමැත්තට අනුවයයි කීමෙන් පරස්පර විරොධීවන එම න්‍යයාය ගැන ඔවුන් කල්පනා නොකරති සියලු යහපත් දේ සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුවය. එහෙත් සියළුම අහපත නපුර සිදුවන්නේ සාතන්ගේ කැමැත්තට අනුවය යයි ඔවුන් පවසන්නේ නම් එය පිළිගත හැකිය. එහෙත් එයින් සිදුවන්නේ එසේ නම් සර්වබලධාරී දෙවියන් වහන්සේට හා සමාන තැනක් සාතන්ටද ඇති බවය. සාතන්ට එම බලය ලබාදීම කරණ ලද්දේ කව්රුන්ද යන බවය. සියල්ලෙහි මැවුම් කරුවාණන් වන දෙවියන් වහන්සේ සාතන්ට එම බලය ලබා දී ඇතැයි පවසන බයිබලය. දෙවියන් වහන්සේගේ මේ හිතුවක්කාර ක්‍රියාව නිසා අප්‍රමාණ ලෝක සත්වයන් මහත් දුකකට ඇද දමණ ලද්දේ දෙවියන් වහන්සේය යන්න පිළිගැනීමට මැලිවෙති. මක් නිසාද සර්වබලධාරී වුද  සාමයේ පණිවිඩ කරුවා වුද කරුණාවේ මුර්තිය වුද දෙවියන් වහන්සේ‍ එසේ කරතියි කීමට ඔවුන්ගේ දිව නොනැමෙන නිසාය. 

දේව මැවුම් වාදය. ඒක දේව වාදය, නිර්මාණවාදය යනාදීය අධිමාණසික හැකියාවන් ඇතිව සිටි සෘෂිවරු වැනි මිනිසුන්ගේ පරි පුර්ණ නොවන වටහා ගැනීම් නිසා ලෝකයට උරුම වු දෘෂ්ඨින් බව කියන බුදු දහම එම‍ දේව මැවුම් වාදය සම්පුර්ණයෙන්ම බැහැරලයි. නිර්මාණ වාදී අදහස් සම්පුර්ණයෙන්ම බැහැර කරන බුදු දහම ඔවුන්ගේ සියළු ආකල්පයන්ට පැහැදිලි පිළිතුරක් සපයයි. එනම් ඒවා මිනිසුන්ගේ පටු අවබෝධය හේතු කරගෙන සිදු වු දාර්ශණීක වැරදි වැටහීම්  ලෙසය. එම වැරදි වැටහීම් මුල් කරගෙන මිනිසුන් විසින් නිර්මාණය කරගත් මේ ආගමික මත නිසා මිනිසුන් නොමගට ‍යන බවත්, සත්‍යයයෙන් එපිටට යන බවත් පවසන බුදු දහම සත්වයන්ගේ ජිවන පැවැත්ම පටිච්ච සමුප්පාදයට අනුව සිදුවෙන අයුරු පෙන්වා දෙයි. 

ඉහත විස්තර කරණ බුදු දහමෙහි මතය ගැන මදක් විමසා බැලුව විට එය බයිබලයෙහි කරුණු හා කෙතෙරම් දුරට ගැලපේ දැයි කියා විමසා බැලිය යුතුය. මදක් විමසා බලන්න. මිනිසුන් දෙවියන් වහන්සේ විසින් මවන ලද නම් දෙවියන් වහන්සේ සර්වබලධාරී නම් මෙවන් අඩුපාඩු කම් සහිතව මේ ලෝකය මැව්වේ මක්නිසාද. ලෝකය සම්පුර්ණ යහපත් තැනක් බවට පත් කලයුතුව තිබිය දී එයට යහපත හා නපුර කලවම් කිරීම දෙවියන් අතින් සිදුවු වරදක් නොවේද, දෙවියන් අතින් එසේ සිදුවුනා නම් එයට වගකිව යුත්තාද දෙවියන් ම නොවේද.  මේවා මෙසේ විග්‍රහ කරගැනීමෙන් මෙම ඉහත දේවමැවුම් වාදී සංකල්පයන් කෙතරම් දුරට මිනිසුන් අතින් ගොඩ නැගුණු දේවල් ද යන්න හා   මනාකොට විමසා බලන්නේ නම් ඒවා ඇස් පනාපිට හුදු සංකල්පයන් බව ඔප්පු වෙන බවත් ය. 


වෙනත් ආගමික මතයක් ගැරහීම අපට තරම් නොවේ. නමුත් මා මෙතෙක් පැවසුවේ බුදු රජාණන් වහන්සේ විසින් මතුකොට පෙන්වා ඇති දහම තුල ප්‍රායෝගිකවම මිනිසාගේ පරිහාණියට හේතු දක්වා ඇති අතර එසේම මිනිසා තුල ඇති මේ දුර්වලතාවයන් ඉක්මවා යන අයුරුද පැහැදිලිව පෙන්වා දී ඇති බව පැවසීමට හා බුදු රජාණනන් වහන්සේගේ ඉගැන්වීම් වල දොස් දක්වන්නට ‍ඉදිරිපත් වෙන අය කෙරෙහි මහත් කරුණාවෙන් යුතුව ඔවුන්ගේ වැරදි වැටහීම් දුර කරගෑනීමට සුළු හෝ උපකාරයක් වේවා යන පැතුමෙන් යුතුවය. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණ පත්තියා. 

Oct 4, 2011

හුස්ම රැළ්ල හා විසිරුණු මනස (භාවනාව ගැන ඉගෙන ගනිමු. පස් වෙනි කොටස)

පලමු ලිපිය.

මෙතෙක් කල් මේ ඉහත මාතෘකාව ඔස්සේ පලකරණ ලද ලිපි පෙලින්. භාවනාව හා එහි වැදගත් කම ගැනත්, අනාපාන සති භාවනාව හා එය කරණ අයුරු ගැනත් කතා කර ඇත්තෙමු. අද අප ඒ ගැන තවත් පුංචි කරුණු කීපයක් කියා දීමට බලාපොරොත්තු වෙමු. භාවනාව යනු ලෝකයාගේ වැඩි අවධානයක් දිනාගත් ඉතාමත්ම යහපත් අධ්‍යාත්මික ක්‍රියාවක් වුවත්, ඒ ගැන බොහෝ දෙනාට ඇති වැටහීම ඉතාමත්ම අල්පය. සමහරු භාවනාව ගැන බොහෝ කරුනු කියවා ඇතත් ඒවා ප්‍රායෝගිකව වැඩීම ගැන අවබෝධයක් ඔවුනට නැත. එබැවින් ඒ ගැන තවත් පුංචි විස්තරයක් සැපයීමට මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නෙමු. 

හුස්ම රැල්ල හා විසිරුණු මනස යන මෙය මාතෘකාවේ තබාගෙන භාවනාව ගැන අප විසින් කතා කරනු ලැබුයේ එක් වැදගත් කරුණක් නිසාම බව කිව යුතුය. එනම් අප මෙම ලිපි පෙලෙන් ආනාපානසති භාවනාව ගැන කියා දෙන්නට අදහස් කරන ලද නිසාය. අනාපාන සති යනු හුස්ම ඉහල ගැනීම හා පහල හෙලීම  පිළිබදව සිහිය පවත්වා ගැනීමේ භාවනාව ය. ඒ ගැන බුදු රජාණන් වහන්සේ දක්වා ඇති විස්තරය මෙසේ ය. 

ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු අරඤ්‌ඤගතො වා රුක්‌ඛමූලගතො වා සුඤ්‌ඤාගාරගතො වා නිසීදති පල්‌ලඞ්‌කං ආභුජිත්‌වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්‌ඨපෙත්‌වා. සො සතොව අස්‌සසති, සතොව පස්‌සසති. දීඝං වා අස්‌සසන්‌තො ‘දීඝං අස්‌සසාමී’ති පජානාති, දීඝං වා පස්‌සසන්‌තො ‘දීඝං පස්‌සසාමී’ති පජානාති. රස්‌සං වා අස්‌සසන්‌තො ‘රස්‌සං අස්‌සසාමී’ති පජානාති, රස්‌සං වා පස්‌සසන්‌තො ‘රස්‌සං පස්‌සසාමී’ති පජානාති.

මහණෙනි මේ සසුනෙහි භික්ෂුව කැළයකට හෝ ගසක් මුලකට හෝ මිනුස්නගෙන් හිස් වු නිවසකට හෝ යයි. ඔහු පලක් බැදගෙන කය සෘජුව තබාගෙන මුහුණ ඉදිරියට මනසේ අවධානය යොමු කරගෙන වාඩි වි සිටියි. හේතෙමේ අස්වාස කරනු ලබන්නේ සි‍හියෙන්ම ආස්වාස කරයි. ප්‍රස්වාස කරනු ලබන්නේ සිහියෙන්ම ප්‍රස්වාස කරයි. දීර්ඝවසයෙන් ආස්වාස කරනු ලබන්නේ දීර්ඝ ලෙස ආස්වාස කරන බව දැනගනියි. දිර්ඝලෙස ප්‍රශ්වාස කරන්නේ දිර්ඝලෙස ප්‍රශ්වාස කරන බව දැනගනියි. කෙටිව අශ්වාස කරන්නේ කෙටිව අශ්වාස කරන බව දැන ගනියි. කෙටිව ප්‍රශ්වාස කරන්නේ කෙටිව ප්‍රශ්වාස කරන බව දැනගනියි

‍ඉහතින් දක්වන ලද බුද්ධ දේශනාවෙන් ආස්වාස ප්‍රශ්වාසය මුල් කරගෙන සිදු කරනු ලබන භාවනාවේ මුලික කොටස කියා නිමකරන ලදි. එයින් මුලදීම ආනාපාන සති භාවනාවට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීම ගැන වදාරණ ලදි. එනම් කැළයකට හෝ ගසක් මුලකට හෝ මිනිසුන් නොමැති හිස් නිවසකට යා යුතු බවය. මෙයින් අදහස් කරනු ලබන්නේ භාවනාව සදහා නිහඩ නිසංසල හුදකලා පරිසරයක ඇති වැදගත් කම බව සිතට ගත යුතුය. පරිසරය එවැනි නිසල බවින් යුතු නම් එය භාවනාවට මහත් උපකාරී වන බැවින් මෙසේ කියා ඇති බවද සිතට ගත යුතුය. මෙම භාවනාව කරනු ලබන ඔබ විසින්ද නිහඩ නිශ්කලංක පරිසරයක් ඒ සදහා තොරාගැනීම කල යුතු අතර එය ඔබේ භාවානාවට පහසු වෙනු ඇත. 

කය සෘජුව තබා ගැනීමේදී මැනවින් ආස්වාස ප්‍රස්වාසයට පහසුවක් වන බැවින් එසේ කියල ලද බව මතකයේ තබාගත යුතුය. පලක් බැදගෙන වාඩී‍වීම බොහෝ වෙලාවක් කය නිසසලව තබා ගැනීමට උපකාර කරන බැවින් ඒ ඉරියව්ව පිළිබදව මෙහිදී දක්වන ලද බව මතකයේ තබාගතය යුතුය. 

මුහුණ ඉදිරියට සිහිය පිහිටුවා ගැනීම ‍ යනුවෙන් මා විසින් පරිවර්ථනය කරන ලද්දේ පරිමුඛං සතිං උපට්ඨපෙත්වා යන පාලි පාඨයයි. එය ගැන ද මදක් පැවසිය යුතුය. ඔබ විසින් ඉබාගතේ ඔබේ කල්පනාව යොමු කොට සිටිය හොත් ඔබගේ අවධානය ඇත්තේ ඒ ඒ දේවල් මතය. එවිට ඔබ හුස්ම ගන්නා බව හෝ හුස්ම හෙළනා බව ගැන දැනීමෙන් සිටීමට ඔබට නොහැකිය. උදාහරණයක් ලෙස ඔබ පිටකොන්දේ වේදනාවකට සිත යොමු කර සිටීනම් එසේත් නැතිනම් ඔබේ අවධානය වෙනත් දෙයකට යොමු වී තිබේ‍නම් ඔබ හුස්ම ගන්නා හෙලන බව ගැන ඔබට නොදැනී යනු ඇත. ඒ ඔබ හුස්ම නොගන්නා නිසා නොව හුස්ම ගැනීම පිළිබද ඔබගේ අවධානයක් නොමැති කම නිසා. හුස්ම ගැනීම හෙලීම සිදු වන්නේ නාසිකාව ඛෙන්ද්‍ර කරගෙන බැවින් මුහුණේ නාසිකාග්‍රය කේන්ද්‍රීය යම් සීමාවකට ඔබගේ මනසේ අවධානය යොමු කර ගැනීම ‍පරිමුඛං සතිං උපට්ඨපෙත්වා යනුවෙන් කියන ලදි.

අස්සසතී පස්සසතී යනුවෙන් ආස්වාස කිරීම හා ප්‍රශ්වාස කිරීම කියන ලද අතර එය තමන් විසින් වෙනමම උත්සාහයකින් සිදු කිරීම මෙහිදී අදහස් කරනු නොලබන අතර ඔබ විසින් හුස්ම ගන්නා විට හුස්ම ගන්නා බව දැනගැනීම හා හුස්ම හෙළනා විට හුස්ම හෙලනා බව දැනගැනීමම  මෙයින් අදහස් කරනු ලබන බව දැන ගත යුතුය. එය සිදු කරනු ලබන්නේ මෙසේ ය. 
මනසේ අවධානය මුහුණ ඉදිරියට යොමු ‍කරගෙන සිටින ඔබට හුස්ම ගන්නා බව සංවේදී වෙයි එවිට ඔබ විසින් හුස්ම ගන්න බව දැනගත යුතුය. එය හුස්ම ගන්නවා හො හෙළනවා ලෙසින් මුඛයෙන් ප්‍රකාශ කිරීමක් අවැසි නැත. නමුත් ඔබගේ මනසේ යම් මෙනෙහි කිරීමක් ඒ අයුරින් සිදුවිය යුතුය. " හුස්ම ගන්නවා "  "හුස්ම හෙලනවා " එම ක්‍රියාවන් සිදුවෙන මොහොතේම පෙර පසු නොවී ඔබ විසින් ඒ ගැන මනසට හදුන්වා දීම මෙයින් අදහස් කරනු ලබයි. ඔබගේ මනසේ අවධානය වෙනත් බාහිර ‍අරමුනු කරා ඉගිල යාමට නොදී පවත්වා ගැනීමට එම මෙනෙහි කිරීම ඔබට උපකාර වත් වෙනු ඇති.

දීඝං  රස්සං. දිර්ඝ ලෙස ආස්වාස කරන විට හා කෙටි ආස්වාසයන් ගැන දැනගැනීමක් ද මෙහි කියා ඇත. සුලභව කතා නොකරන මේ කරුණ ගැනද අප විසින් යමක් පැවසීම යුක්ති යුක්තයයි සිතමු. මෙහිදී යෝගාවචරයාගේ අවධානය වඩාත් සියුම් ලෙස තිවුර කිරීම අදහස් කරනු ලබන බව කිව යුතුය. හුස්ම රැලි සමහර ‍ඒවා කෙටි වන අතර තවත් සමහරක් හුස්ම රැලි දීර්ඝ වේ මනසේ අවධානය හුස්ම රැල්ල වෙතම පවත්වා ගැනීම සිදු කරන යෝගාවචරයාට එ‍ය වටහා ගත හැකි වන අතර ඒ ගැන මුලදීම සැලකිල්ලට භාජනය කිරීමට උත්සාහ නොකලද කම් නැත.

දැන් මේ හුස්ම රැල්ල හා විසිරුණු මනස ගැන අප ටිකක් විතර කතා කල යුතු යයි සිතමු. ඔබ දැනට ආනාපාන සති භාවනාව සිදු කරන අයුරු ගැන තරමක දැනුමක් ඇති කෙනෙකි. එසේ ඇති ඔබට මේසේ සිතෙන්නට ද බැරි නැත. මේ මොකද්ද මේ. හුස්ම ගන්න එක හුස්ම හෙළන එක ගැන බලා සිටීම කොහොමද භාවනාවක් වෙන්නේ මේක කිසිම තේරුමක් නැති වැඩක්. මේ වගේ තේරුමක් නැති වැඩකින් ඇති වැඩේ මොකක්දැයි ඔබ සිතනු ඇත. 

කාමාවචර එනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහිම ඇලුනු බැදුණු උපාදින්න. මේ සිත ඒවායින් වෙනස් දෙයකට යොමු කර ගැනීම පහසු නැත. එයට හේතුවක් තිබේ. එනම් ඒවායේ ක්‍රියාවලිය උපාදානයන් හා බැදී පවතින නිසාය. මේ ගැන කරුනු වටහා ගැනීම පිණිස උපාදානයන් හා ඒවායින් මනසට සිදුවෙන බලපෑම ‍මැයින් අප ලියා ඇති ලිපි පෙල ඔබට උපකාර කරනු ඇති. එය කියවා බලන්න.  කරුනු එසේ හෙයින් සිත අස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල කෙරෙහි තබාගැනීම කාලය නාස්ති කිරීමකැයි ඔබ සිතන ඇති. දැන් ඒ ගැන යම් පැහැදිලි කිරිමක් කල යුතු යයි සිතනුයේ එබැවිනි.

හුස්ම රැල්ල කෙරෙහි මනසේ අවධානය පවත්වා ගැනීමෙන් මනසට විශාල සහනයක් විවේකයක් අත්විදින්නට අවස්ථාව සැලසෙන අතර ඒ ක්‍රියාවලිය තුල මනස අභ්‍යන්තරයේ මෙවැනි සිදුවීමක් සිදුවෙයි. එනම් මනස හුස්ම ගැනීම හෙලීම තුලටම අවධානය පවත්වා ගෙන සිටීම හේතු කරගෙන නොයෙක් බාහිර ‍‍අරමුණු කරා සිත විසිර යාම ක්‍රමයෙන් නතර වේ.  සිත අනාපාන සතී අරමුණ තුලම ක්‍රියාත්මක වීමට පටන් ගනී.මෙසේ සිදුවීම අරමුණට සිත දීම හා අරමුණේ සිත හැසිර වීම ලෙස දැක්විය හැකිය. එසේ ඇති කල්හී එය ක්‍රමයෙන් තව තවත් දියුණු කරන විට පඤ්චකාමයන්ට බැදීම හේතු කරගෙන නොයෙක් අසහනයටත් දුකටත් පිඩාවටත් පත්වු සිතට එයින් දැනෙන විවේකය අති මහත්ය. එම විවේකය මුලික කරගෙන සිත තුල ප්‍රිතියක් උපදී. එම ප්‍රීතිය මුල් කරගෙන සැපයක්ද එම සැපය කෙරෙහි මනසේ යොමු වීමක්ද සිදුවේ. මෙය ප්‍රථම මට්ඨමේ සමාධිය ලෙස හැදින්විය හැකි ය. 

මේ සමාධිය වානාහී ලාමක කාමයන් මුල් කරගෙන මිනිසුන් ගොඩ නගන සියළු සැප පරදවන සුළු අතිසය ප්‍රනීත වු සැප ස්භාවයකි. නිවැරදිව භාවනා කරනු ලබන තැනැත්තාට මේ තත්වයට සිත දියුණු කරගත හැකි අතර එසේ නොහැකි කෙනෙකුටද අවිවේකි මනස විවේකයට පත් කරගැනීමට හා කලබලකාරී දිවිපැවැත්මේ යම් සැහැල්ලුවක් සංවර බවක් සන්සිදීමක් සහනයක් අද්දකින්නටද එය අනිවාර්යෙන්ම අවස්ථාවක් වෙයි. එබැවින් අනාපානසතී භාවනාව හැකි අයුරින් වැඩීමට සිතට ගනිත්වා යනු අපේ පැතුමයි. 

විසුරුණු මනසේ ස්භාවයන් සම්පුර්ණයෙන්ම නිවා සුවපත් කිරීමට උපකාර වෙන මේ හුස්ම රැල්ල හා බැදුණු භාවනාව ගැන ලියැවුණු මේ පස්වෙනි ලිපියෙන් එම ලිපි පෙල මෙසේ නිමාවට පත් වෙන බවත් අනාපාන සති භාවනාව කරන්නට ඔබ තුල කැමැත්තක් ඇත්නම් ඒ සම්බන්ධව ඔබ විසින් මෙම උපදෙස් අනුව ‍තම නිවසේදී පුහුණු විය හැකි බවත් . එය සාර්ථකව ඉදිරියට කරගෙන යා හැකි නම් හා එය තවදුරටත් දියුණු කර ගැනීමට ඔබගේ සිතේ යම් උනන්දුවක් අත්සාහයක් ඇත් නම් ඔබ විසින් භාවානාව කියා දෙන ගුරුවරයෙකු ඇසුරු කරන ලෙසත් දන්වා සිටිමි. මක් නිසාද මෙය භාවනාව ගැන කිසිදු අවබෝධයක් නැති අයට ඒ වෙතට පිවිසීම පිණිස කරන ලද සරල පැහැදිලි කිරීමක් පමණක් බැවිනි. සතං සමාගමො හොතු යාව නිබ්බාණ පත්තිය. 

අමතද්වාරය කොයිබටද...

My photo
බොහෝ තැන දහම් පංති හා වැඩසටහන් තිබුනද ලංකාව පුරා ඇති මෙම ආයතනවලින් ‍බොහෝමයක් ගැඹුරු දහම් කතා කරනමුත් ධර්මය කරා පැමිණෙන. තරුණ කැල ‍උදෙසා පැහැදිලිව ධර්මය සංනිවේදනය කෙරෙන බවක් පෙනෙන්නට නොමැති බැවින් ධර්මය ගැන වැඩි දැනුමක් නැති මුත් බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් ජිවිතයට සම්බන්ධකරගන්නට කැමැති යෞවණයන්ගේ ජිවිත වලට සදහම් ඇසුරු ලැබෙන ජිවිතයක් කරා විවර වෙන අමතද්වාරය වෙත ඔබත් පැමිණෙන්න

Followers