Sep 28, 2011

හුස්ම රැළ්ල හා විසිරුණු මනස (භාවනාව ගැන ඉගෙන ගනිමු. සිව්වන කොටස)

පලමු ලිපිය.
ඔව් ඔබ විසින් කලයුතු වන්නේ එපමණයි. ඔබ විසින් කලයුතු වන්නේ නිහඩ නිස්කලංක පරිසරයක භාවනා ඉරියව්වෙන් වාඩී වි. කොන්ද කෙලින් තබාගෙන ඔබගේ මනසේ සම්පුර්ණ අවධානය විසිර යා නොදී නාසිකාව කේන්ද්‍රිය මුහුණ ඉදිරියට යොමුකර ගෙන සිටීමයි. ඔබ හුස්ම ගන්නා විට හුස්ම ගන්නවා කියාද හුස්ම හෙලනා විට හුස්ම හෙලනවා කියාද මෙනෙහි කර බැලිය යුතුය. එය කරන්නට අමුතු ආයාසයක් ගැනීම මෙහිදී අදහස් නොකරන අතර ඔබ විසින් කල යුත්තේ ඔබ හුස්ම ගන්නා බව දැනෙන විට හුස්ම ගන්නා බව දැනගෑනීම පමණකි. 


හුදකලා නිහඩ නිස්කලංක තැනෙක පෙර කී අයුරින් වාඩී වි සිටින්න. එසේ සිටින ඔබගේ මනසේ සම්පුර්ණ අවධානය මුහුණ ඉදිරියට යොමු කරගන්න. දැන් මුහුණ ඉදිරියේ නාසිකාව කේන්ද්‍රිය කොටසට ඔබේ මනසේ සම්පුර්ණ අවධානය යොමුකරගෙන බලා සිටින්න ඔබට කරන්න තියෙන්නේ මේ වගේ දෙයක්. ඔබ ලමුන් සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්න අම්ම කෙනෙක් කියල හිතන්න. ඔබ ළමුන්ට ඔහේ නිදහසේ සෙල්ලම් කරන්න දීලයි තියෙන්නේ. ඒ අතර ඔබ යම් තරමක දුරින් සිට ඒ අය‍ හොදින් පසුවෙනවද දුරට යන්නේ නැද්ද කියලා හොදට ඇහගහගෙන ඉන්නවා. හැම වෙලාවේම අම්මගේ අවධානය තියෙන්නේ දරවන් වෙතට . 


ඒ වගේම තමයි අපේ අවධානයත් සම්පුර්ණයෙන් ම පිහිටුවාගෙන තිබිය යුත්තේ හුස්ම ගැනීම හෙලීම සිදුවෙන නාසිකාග්‍රය වෙතට ය. ඒ ආසන්නයේ සිදුවෙන හුස්ම ගැනීමේ හෙලීමේ ක්‍රියාවලිය දෙස අපට පහසුවෙන් බලා සිටිය හැකිය. ඔබ හුස්ම ගන්නා විට යම් කිසි ආකාරයක දැනීමක් තුලින් ඔබ හුස්ම ගන්නා බව දැනගනීයි එවිට හුස්ම ගන්නා බව මෙනෙහි කලයුතුයි. ‍හුස්ම පිටකරන විටද ඔබට එය යම් අකාරයකින් දැනේ එවිට ඔබ හුස්ම පිට කරන බව දැනගත යුතුය. මෙසේ මේ අයුරින් හුස්ම ගැනීමත් හෙලීමත් සිදුවෙන අතර ඒ කෙරෙහි ඔබගේ මනසේ සම්පුර්ණ අවධානය යොදවා වෙනත් කිසි දෙයකට මනසේ අවධානය ගිලිහී යන්නට ඉඩ නොදී බලා සිටින්න. ඔබ විසින් මූලික පියවරේදී කල යුතු වන්නේ එපමණයි.

ඔබට ඉතාමත්ම සුළු කාලයක් එම ක්‍රියාවලිය තුල සිත තැන්පත්ව තබා ගත හැකි නමුත් වාහාම එය වෙනස් අතකට හැරේ. අවධානය නොහොත් කල්පනවා ඔබ නොදැනුවත්වම වෙනතකට යයි. සමහර විට ඔබගේ මනසේ අවධානය වෙනත් අතකට ගොස් ඇති බව ඔබ දැනගන්නේ  මද වෙලාවක් ගියාට පසුවය. සමහර විටෙක එය විනාඩි පහක් දහයක් ‍හෝ ඊටත් වඩා වැඩි කාලයක් විය හැකිය. මනස එතරම්ම අපට අවනත නොවී අයාලේ යන්නට පුරුදුව සිටියි. භාවනාව කරගෙන යාමට කැමැති ඔබ තුල මේ නොපුහුණු කම අයාලේ යාම එහෙමත් නැතිනම් මනසේ හිතුවක්කාරකම ගැන තරහක් වුව ඇති වීමට පිළිවෙන. මේ මොකද්ද මේ දැන් මේ භාවනා කරන්න ඕනේ වෙලාව මොකටද ‍මේ එක එක ඒවා කල්පනා කර කර ඉන්නේ 

ඔබට එසේ සිතෙනු ඇත. එහෙත් ඔබ විසින් ඒ පිළිබදව ඔබගේ මනස සමග අමනාප කමක් ගොඩ නගා නොගත යුතුය. මෙතෙක් කල් ඔබ විසින් කර ඇත්තේ  මනස සමග සවාරි ගහන එකය. එම නිසා මනසට ඒ දීර්ඝකාලීන පුරුද්ද එක වැර අත් හැරිය නොහැකිය. එබැවින් ඔබ ඉවසිලිවන්තව විදදරා ගනිමින් සාමයෙන් යුතුව ඔබගේ මනසේ සම්පුර්ණ අවධානය හුස්ම ගැනීමත් හෙලීමත් සමග තබා ගැනීම කළ යුතුය.  එසේ කරගෙන යන විට මනස ටිකින් ටික ටිකින් ටික අරමුණ තුලම රදවා තබා ගන්නට ඔබට හැකියාව ලැබේ. එය ඔබ විසින් කල යුතු වන්නේ ආස්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල කෙරෙහිම තමන්ගේ අවධානය යලිත් යථාතත්වයට ගෙන ඒමෙන්ය. මේ අයුරින් ඔබ භාවනාවේ යෙදෙන්න. එසේ කරන කල්හී ඔබට ආස්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල වැඩි වැඩි වසයෙන් ග්‍රහණය කරගනිමින් බාහිර අරමුණු වලින් මනසේ අවධානය ඉවත් කරගනිමින්, ඔබගේ මනසේ අවධානය ආස්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල කෙරෙහිම පවත්වා ගන්නට හැකියාව ලැබෙනු ඇත. 

මේ පිළිබදව අටුවා ග්‍රන්ථයන් හී දක්වන උපමාවක් මෙසේය. 

වනයේ නිදැල්ලේ එහාමෙහා යන ජවසම්පන්න කුළු හරකෙකු වෙයි. කුලුහරකා නිකරුනේ එහෙ මෙහෙ යමින් කමින් බොමින් කටයුතු කරනවා විනා ඌගෙන් අපට කිසි ප්‍රයෝජනයක් නැත. දක්ෂ මනුස්සයෙකු මේ කුළු හරකා දැක මෙසේ කල්පනා කරයි. මේ කුළු හරකා අල්ලාගෙන මගේ වැඩ පලට සම්බන්ධ කරගත්තොත් බොහෝ ම හොදයි කියාය.  

ඔහු බොහෝ මහන්සී ගෙන කුළු හරකාව අල්ලා ගනියි. කුළු හරකාව අල්ලාගෙන කඹයකින් ‍කර බැද ශක්තිමත් කණුවක ගැටගසා තබයි. ‍කුළු හරකාට දැන් නිදැලේලේ යාමට නොහැකිය. ඌට යා හැක්කේ කාඹයේ දුරට පමණකි.  කඹය කඩාගෙන යාමට උත්සාහ දරණ මුත් කඹයේ සවිමත් භාවය නිසා ඌට එයද කරගත නොහැකි වෙයි. කෑම හා වතුර නොදී දවසක් දෙකක් තැබීමෙන් පසුව කුළු හරකාට වතුර ටිකක් දෙනු ලබයි. දැන් කුළු හරකා කණුවට වටේ කැරකී කැරකී සිට කණුවටම පැටළී පැටලී කණුව මුලටම සමීප වී ඇත. දැන් ඒ කුළු හරකාට ලං වීමට හැකිය ඌට වැඩිය දගලන්නට නොහැකි ලෙස ඌ කණුවට හිරවී සිටී. දවස් කීපයකට පසුව කෑම ලැබීමෙනුත් වතුර ලැබීමෙනුත් හා ඔළුව අතගෑම ආදරය දැක්වීම වැනි දේවල් මුල් කරගෙන දැන් අර කුළු හරකාගේ හිත තුල කලින් තිබුණ දඩිබිඩිය නැතිව ගොස් ඌ මනුස්සයාට හිතවත් කම් පායි. මනුස්සයා විසින් දැන් තමන් කැමැති අයුරින් එම කුළු හරකාව පුරුදු කර වැඩෙහි යෙදවිය හැකිය.

ඉහත උපමාව දැන් භාවනාවට ගලපා බැලිය යුතුය.  
කුළු හරකා. දමනයට දුස්කර විසිරුණු සිතය.
කඹය නම් - මනසේ අවධානය පවත්වා ගැනීම නොහොත් සතියයි.
කුළු හරකා බැද තැබු කඹය - භාවනා අරමුණයි. 
කුළු හරකාගේ කඹය ඇති තෙක් එහෙ මෙහෙ යාම _ අවධානයෙහි දුර්වලකම නිසා අරමුණට සෘජුවම සිත සම්බන්ධ නොවීමයි.
කුළු හරකා බැද තැබූ කණුවේ කර මුලටම හිර වීම -  සතිය ටිකින් ටික බලවත්වී භාවනා අරමුණ සමීපයෙහිම සිත රදවා ගැනීමට ඇති කරගත් හැකියාවයි.
කුළු හරකාට දිය හා කෑම නොදීම - හිතට ඕනෑ අයුරින් නටන්නට ඉඩ ප්‍රස්ථා සලසා නොදීම ඕනෑ ඕනෑ දේ සිතන්නට ඉඩ නොදීම. 
කුළුහරකාට දිය හා කෑම දීම -භාවනාව නිසා ලබන නිරාමිස ප්‍රිතියයි.
කුළු හරකා මෙල්ල වීම- භාවනාවේ යෙදී වාසය කරමින් පැවතුන මනස භාවනා අරමුණට අනුව එකගව ඉතිරි ආධ්‍යාත්මික ජිවිතයේ ගුණ දියුණුවට සහයෝගය ලබා දීමයි. 

මනස කුළු හරකෙකුට සමානයයි කිවහොත් ඔබ එය කිසි දිනෙක පිළිගන්නේ නැති විය හැකිය. නමුත් ඔබ භාවනා කරන්නට පෙළඹුන විට නම් එය ඊටත් වඩා අමාරු කාරයෙකු බව වටහා ගනු ඇත. ඔබේ භාවනාවේ සාර්ථකත්වය පිණිස ඉහත සදහන් කරන ලද කරුණු උපකාර කර ගත හැකිය.  ඊළග ලිපිය මෙම අනාපාන සතිය ගැන කියැවෙන අවසන් ලිපිය වන අතර එයින් අනාපාන සතිය හා බැදුණු මූලික බුද්ධ දේශනාවන් පිළිබද ඔබට කරුණු කියැවීමට අවස්ථාව ලැබෙනු ඇති. 

No comments:

Post a Comment

මේ ලිපි පිළිබදව ඔබට යමක් කියන්නට ඇත්නම් මේ ඉඩ හසර ඒ සදහායි.

අමතද්වාරය කොයිබටද...

My photo
බොහෝ තැන දහම් පංති හා වැඩසටහන් තිබුනද ලංකාව පුරා ඇති මෙම ආයතනවලින් ‍බොහෝමයක් ගැඹුරු දහම් කතා කරනමුත් ධර්මය කරා පැමිණෙන. තරුණ කැල ‍උදෙසා පැහැදිලිව ධර්මය සංනිවේදනය කෙරෙන බවක් පෙනෙන්නට නොමැති බැවින් ධර්මය ගැන වැඩි දැනුමක් නැති මුත් බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් ජිවිතයට සම්බන්ධකරගන්නට කැමැති යෞවණයන්ගේ ජිවිත වලට සදහම් ඇසුරු ලැබෙන ජිවිතයක් කරා විවර වෙන අමතද්වාරය වෙත ඔබත් පැමිණෙන්න

Followers