Sep 21, 2011

හුස්ම රැල්ල හා විසිරුණු මනස (භාවනාව ගැන ඉගෙන ගනිමු -පලමු කොටස.)

සිත හැම විටම සක්‍රියව පවතී. දැනට  එයට ‍විවේකයක් ලැබෙන්නේ නින්දට පත්වීම තුලින් පමණකි.  දුර ගමනක යෙ‍දී වාසය කරන තැනැත්තාට ගමන් වෙහෙස අධිකය. ඒ නිසා ඔහුට පුංචි දුර පවා මහා දුරක් සේ දැනේ. පුංචි බර පවා මහා බරක් සේ දැනේ. නමුත් එයට හේතුව දුර ගමන් යන තැනැත්තාගේ මහන්සියට අනුව දුර හෝ බර වැඩිවෙන නිසා නොව ඒවා වැඩියෙන් දැනෙන නිසාය. ක‍යික දුබලතාවය හේතුවෙන් ඒවා එසේ දැනෙන්නට පටන් ගනී. මෙය කියවන ඔබ සිරිපා කරුණාකර ඇතැයි සිතමි. සිරිපා කරුණා කරන ඔබ හැටන් හැටන් පැත්තෙන්  ගමන පටන් ගත්තත් එය ක්‍රිලොමිටර් හතරක් පමණ පයින් එක පිම්මේ සිරිපා කන්ද නගින්නට ඔබට සිදුවෙනු ඇත. ගමන පටන් ගන්නා විට  ඔබට ලොකු ප්‍රබෝධමත් බවක් ඇත. නමුත් පලමු කිලොමිටරය පසු කරන විට ටික ටික ඔබගේ අර තිබුණ ජවය හීනවී ගොස්ය. අන්තිම කිලොමිටරය ඔබ නගිනුයේ මීටර් පනහෙන් විසිපහෙන් තැන තැන නතර වෙමින් විය හැකිය. අනේ මට නම් බෑ ඔබ ඔබටම මුමුණා ගන්නවාද විය හැකිය. ඒ කන්ද  වැඩි නිසා පමණක් නොව ඔබට මහන්සි වැඩි නිසාය. ‍සිරුරේ ශක්තිය බොහෝ ප්‍රමාණයක් ඔබ ඒ වෙන විටත් ගමනට වැය කර ඇති නිසාය.

භාවනාව ගැන කතා කරන්නට පැමිණ දැන් සිරිපා ගැන කතාකරන්නේ මොන එහෙකටදැයි ඔබට සිතෙනු ඇත. භාවනාව යනු කුමක්දැයි නොයෙක් සංකල්ප තුල එල්ලීගෙන විශ්ලේෂන කරගන්නා බොහෝ අය සත්‍ය වසයෙන්ම භාවනාව යනු කුමක්දැයි නොහදුනති. එයට හේතුව වි ඇත්තේ ඒවා නිකම්ම නිකම් සංකල්ප පමණක් වන නිසාය. දිනක් ම‍නෝ විද්‍යාත්මක පර්යේෂණයක යෙදෙන මහාචාර්‍ය වරයෙකු අචාන් චා හිමියන් හමුවී උන් වහන්සේගෙන් ඔහුගේ පර්යේෂනවලට අදාලව වැදගත් ප්‍රශ්ණ කීපයක් අසා ඇත.


01.භාවනාව යනු කුමක්ද ?
02.භාවනා කල යුත්තේ ඇයි. ?
03.භාවනා කරන්නේ කොහොමද ?
04.භාවනා කිරීමෙන් අපට ලැබෙන්නේ මොනවාද ?

අචාන් චා හිමියන්ගේ පරිවර්ථකයා උන්වහන්සේගේ පිළිතුරු මෙසේ පරිවර්ථනය කරන ලදි.

01.ආහාර යනු මොනවාද?
02.අපි ආහාර ගන්නේ ඇයි
03.අපි ආහාර ගන්නේ කොහොමද
04.ආහාර ගැනීමෙන් අපට ලැබෙන්නේ මොනවදාද

මහා චාර්‍ය වරයාට අවශ්‍ය සියළුම පිළිතුරු එහි අඩංගු වුවත් ඔහු සැබැවින්ම බලාපොරොත්තු වුයේ වෙනත් දෙයකි. හිත නරක් කරගත් ඔහු යන්නට ගොස් ඇත. ඔහු මදක් බුද්ධිමත්ව කල්පනා කරනු ලැබුවේ නම් අචාන් චා හිමියන් සමග  සරලත්වයෙන් ගැඹුරට පිවිසෙන ඉතාමත් පැහැදිලි ධර්ම කරුණු රාසියක් ලබා ගන්නට ඔහුට හැකියාව තිබිණි. නමුත් ඔහුට එවන් ඕනෑ කමක් නොතිබුණී. ඔහුට ඕනෑ වී තිබුනේ ගෙඩිය පිටින් ගිලීමට මිස  පැහැදිලිව යමක් වටහා ගැනීමට නොවේ. ඔබත් මහාචාර්‍යවරයාට සමාන නම් මේ ලිපියෙන් ඔබට වැදගත් දෙයක් හමු නොවනු ඇත.

ඔබ යමක් ඉගෙන ගත යුත්තේ ඔබේ ජිවිතයට ගලපා බලමිනි. ඔබේ සාර්ථකත්වයේ රහස එයයි. දැන් ඔබ භාවනාව ගැන වුවද ඉගෙන ගන්නා විට ශාස්ත්‍රිය ලෙස හැදෑරීමකදී ඔබට එය ජිවිතයට සම්බන්ධ කරගැනීමට අසීරු දෙයක් බවට පත් වෙනු ඇත. එය හුදු දැනුමක් පමණක් වනු ඇති අතර එය ප්‍රායෝගිකව ගලපා ගැනීමට යාමේදී ඔබව අතරමං කරනු ද ඇත. එබැවින් සංකල්ප තුල හිර නොවන්න.  භාවනාවේ පැහැදිලි ක්‍රමවේදයක් වන හුස්ම රැල්ල විමසා බැලීම පිළිබද භාවනාව  එනම් අශ්වාස ප්‍රාශ්වාසය හැම විටම ඔබ ලගම පවතින දෙයක් වුවත් ඔබට ආශ්වාස ප්‍රාශ්වාසය සමග භාවනා කරන්නට ඉගෙන ගත යුතු නොවේද. එය අමුතු හෝ නොතේරෙන නොවැටහෙන දෙයක් බවට පත්වී ඇත්තේ මක් නිසාදැයි ඔබම කල්පනා කර බලන්න. එය එසේ නොවේ එය සැබැවින්ම සරල භාවනා ප්‍රවේෂයකි.

ඔබට කලයුතුව ඇත්තේ එම හුස්ම රැල්ල සමගින් ඔබේ මනසේ අවධානය මනාකොට පවත්වා ගනිමින් සිටීම පමණකි. නමුත් ඒ ගැන පැහැදිලිව නොදන්නා ඔබ භාවනාව නිසාද අවුලට පත් වෙනු ඇත. මෙය මෙසේ කරන්නේ කොහොමද අරක එසේ කරන්නේ කොහොමද මොනවත් වෙනසක් නොදැනෙන්නේ මක්නිසාදැයි කියා ඔබ ඔබෙන්ම ප්‍රශ්න කර ගන්නවා ඇති. භාවනාව ගැන අපි පැහැදිලිව ඉගෙන ගනිමු. ඔබට භාවනාව ගැන ඉගෙන ගන්නට කැමැති නම් " හුස්ම රැල්ල හා විසිරුණු මනස " යන ‍‍මැයෙන් සරල ප්‍රවේෂයක් ඔස්සේ අපි ඒ ගැන කතා කරමු. දැනට ඔබට අචාන් චා හිමියන් මහාචාර්‍ය වරයාට ලබා දුන් පිළිතුරු ටික හා භාවනාව අතර ඇති සම්බන්ධතාවය ගැන විමසා බැලිය හැකිය. දෙවෙනි කොටසින් මුණ ගැසෙන තුරු. ඔබට තෙරුවන් සරණයි.
දෙවෙනි ලිපිය.

No comments:

Post a Comment

මේ ලිපි පිළිබදව ඔබට යමක් කියන්නට ඇත්නම් මේ ඉඩ හසර ඒ සදහායි.

අමතද්වාරය කොයිබටද...

My photo
බොහෝ තැන දහම් පංති හා වැඩසටහන් තිබුනද ලංකාව පුරා ඇති මෙම ආයතනවලින් ‍බොහෝමයක් ගැඹුරු දහම් කතා කරනමුත් ධර්මය කරා පැමිණෙන. තරුණ කැල ‍උදෙසා පැහැදිලිව ධර්මය සංනිවේදනය කෙරෙන බවක් පෙනෙන්නට නොමැති බැවින් ධර්මය ගැන වැඩි දැනුමක් නැති මුත් බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් ජිවිතයට සම්බන්ධකරගන්නට කැමැති යෞවණයන්ගේ ජිවිත වලට සදහම් ඇසුරු ලැබෙන ජිවිතයක් කරා විවර වෙන අමතද්වාරය වෙත ඔබත් පැමිණෙන්න

Followers