Sep 29, 2011

උපාදානයන් හා මනසට එයින් සිදුවෙන බලපෑම (පලමු කොටස)


උපාදනයන් යනු බැදීයාම් ය. බැදීයාම් හතරකි.  ඒවා නම්
01. කාම උපාදානය.
02. දිට්ඨි උපාදානය.
03.අත්තවාද උපාදානය.
04.සීලබ්බත උපාදානය.

යනුයි. මෙම උපාදානයන් කෙරෙහි බැදීගිය සිත් ඇති අප. ජිවත් වීම වෙනුවෙන් සිදු කරනු ලබන්නේ මෙම උපාදානයන්ට නතුව වැඩ කිරීමය. උපාදානයන් පිළිබදව යම් පමණක හෝ වැටහීමක් ඇති කරගත හොත් අපට එයින් ජිවිතය ගැන ද යම් අවබෝධයක් ඇති කර ගත හැකි නිසාවෙන් මේ ගැන ඔබට යම් දැනුවත් කිරීමක් කරන්නට සිතිමි.

ඔබගේ දෑත් දෙපය හා කටද බැද දමා ඇත් නම්. ඇගපුරා වෙළුම් පටිවලින් වෙලා ඇත්නම්. ඔබට කල හැක්කේ කුමක්ද ඔබට කිසිවක් කල නොහැකිවේ. එසේ සිටිනා ඔබව කව්රුන් හෝ රැගෙන ගොස් ගිනි අගුරු වළකට දැමීමට සැරසුනද ඔබට කරකියා ගත හැකි දෙයක් නැත. ඒ ඇත්තන් ඔබව ගෙන ගොස් අසුචි වළකට අතහරියි නම් ඒත් ඔබට කල හැක්කක් නැත. ඒ ඇත්තන් ඔබව රැගෙන ගොස් ජලාසයකට දැමූවද ඔබට කල හැක්කක් නැත. මෙය ඔබට වටහා ගත නොහැකියි නේද. වැඩි දුර නොසිතා මතු පිටින් කියන කරුණ ගැන පමණක් සිතන්න. සත්‍ය වසයෙන්ම ඔබේ දෑත් දෙපය හා කටත් බැද තබා ඇත්නම් ඇග පුරා වෙළුම් පටි වලින් බැදදමා ඇත්නම් දැන් සිතන්න. සත්‍ය වසයෙන්ම එවන් මොහොතක ඔබේ තත්වය කොයි වගේ වේවිද කියා.

දැන් අපි මාතෘකාවට බසිමු මේ ඉහත සදහන් කරණ ලද සතරාකාර උපාදානයනුත් අපගේ ජිවීත ඉහත කියන ලද දැත් දෙපය හා කටත් බැද තබා ඇගපුරා වෙළුම් පටිවලින් වෙලා දමා හිර කොට බැදතබා ඇතුවා සේ අපේ සිත බැදතබාගෙන සිටියි. ඒවා ගැන වැටහීමක් ලබා ගන්නා තෙක් අපට ඒවා ගැන අවබෝධයක් ඇති කරගත නොහැකිය එබැවින් ඒවා එකක් එකක් ගෙන යම් පැහැදිලි කිරීමක් කරගෙන බලමු.

කාම උපාදානය. කාම යනු ඇස කණ නාසය දිව කය මනස යන ඉදුරන් පිනවීම පිණීස පවතින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ය. මේවාට පඤ්ච කාමයන් යයි කියනු ලබන අතර ඒවා කෙරෙහි මනසේ පවතින බැදීයාමට කාම උපාදානයයයි කියනු ලබති. රූප , ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශයන්, කෙරෙහි අපගේ මනසෙහි බැදීයාමක් ඇද්දැයි ඔබ මදක් සිතා බලන්න. සත්‍යවසයෙන් එවැන්නක් තිබේද. ඔබ ඔබට වැටහෙන අයුරින් සිතා බලන්න. මේ ලෝකයෙහි වාසය කරන අපි. ආසා කරනු ලබන දේවල් කොපමණවත් තිබේ. ඒවා අයත් වන්නේ මොනවාටදැයි මදක් සිතා බලන්න. එක්කෝ ඒවා රූප වලට අයිතිය, එක්කෝ ශබ්ද වලට අයිතිය, එසේත් නොමැති නම් ගන්ධවලට අයිතිය, එසේ නැත්නම් රසවලට අයිතිය, ඒ නැත්නම් ස්පර්ශයන්ට අයිතිය.

තවත් ආකාරයකින් පවසනවා නම් එක්කෝ ඒවා ඇසට අරමුණු වන දේය, නැතිනම් කණට අරමුණු වන ‍දේය. නාසයට අරමුණු වන දේය. දිවට අරමුණු වන දේය. එහෙමත් නැත්නම් කයට අරමුණු වන දේය. ඔබට වටහා ගැනීමට හැකිද ඔබේ ලෝකය සම්පුර්ණයෙන්ම පාහේ බාහිර භෞතික ලෝකය සමගින් සම්බන්ධ වන්නේ මේ කියන ලද ඇස කණ නාසය දිව කය හරහා නොවේද. ඒ ලෝකයෙහි ඇති දේවල් කෙරෙහි මනසේ ඇති වන්නා වු කැමැත්තට අපි කාමයයි කියනු ලබන අතර එම කැමැත්ත ඇති කිරීමට ඉවහල් වන බැවින් රූප ශබ්දාදියට කාමවස්තුයයි කියනු ලැබේ.


ඉහත කියනු ලබන කාමයන් කෙරෙහි නැඹුරු බවක් අප තුල උපතින් ම රැගෙනැවිත් ඇති අපි. හැම විටම ඒවා කෙරෙහි පොළඹවන සුළුව කටයුතු කරන්නෙමු. ඒවා යම් තැනකද අපේ ඇදීයාම ඒ දෙසට වෙයි. අපගේ නෙත් දෙසවන් ලෝකය පුරා සොයා ඇදෙන්නේ ඒවා කැමැති දේ ඇත්තේ කොහේද කියා ය. ඒවාගෙන් ඉල්ලීම් ඉටු කිරීම පිණිස අපට ඉදිරියට යන්නට සිදුවී තිබේ. අප ලෝකය පුරා සොයා දුව ඇවිදින්නේ මේ කාමයන්ය. මොහොතක් සිතා බලන්න එය එසේ වී ඇත්තේ මක් නිසාද ඔබ තුල ඇති එම කාමයන්ට බැදීයාම නිසා නොවේද. වරක් දුටු රුවක් යලිත් දකින්නට වරක් ඇසු ශබ්දයක් යලිත් අසන්නට වරක් දැනුණ සුවදක් තව වරක් ආග්‍රාණයක කරන්නට වරක් ලද රසයක් තව වරක් විදින්නට වරක් ලැබූ පහසක් යලි වරක් ලබන්නට ඔබගේ සිත ඔබව මෙහෙයවන බව ඔබ සිතා තිබෙනවාද. ? එය එසේ සිදු වුවත් අප ඒ ගැන මෙතෙක් ඒ අයුරින් සිතා නොමැතිය. මතක තියා ගන්න මේ තමයි ඔබ තුල පවතින කාම උපාදානය.

මෙම කාමයන් කෙරෙහි මනසේ පවතින බැදීයාම නිසා අප කතා කරන සිතන හා ක්‍රියාකරණ දේවල් වලට සිදුවෙන ප්‍රබල බලපෑම කාම උපාදාන‍ය නිසා ඔබේ ජිවිතයට ඇති බලපෑමයි. එය ගැන ඔබ මදක් හෝ සිතා බලන්න. ඔබ‍ට විවේකීව ඔබ ගැනම සිතනවා නම් ඔබ සිතිය යුතු දේවල් වලින් බොහෝම වැදගත් දෙයක් මේ කාමයන් කෙරෙහි පවතින මනසේ පොළඹවන සුළු තල්ලුදානා සුළු ගතිය. නොහොත් කාමයන් කෙරෙහි සිත බැදීයාම. එය කාම උපාදානයයි.

ඉතිරි උපාදානයන් ‍ගැන විස්තර ගෙන යලිත් මුණ ගැසෙන තුරු...

Sep 28, 2011

හුස්ම රැළ්ල හා විසිරුණු මනස (භාවනාව ගැන ඉගෙන ගනිමු. සිව්වන කොටස)

පලමු ලිපිය.
ඔව් ඔබ විසින් කලයුතු වන්නේ එපමණයි. ඔබ විසින් කලයුතු වන්නේ නිහඩ නිස්කලංක පරිසරයක භාවනා ඉරියව්වෙන් වාඩී වි. කොන්ද කෙලින් තබාගෙන ඔබගේ මනසේ සම්පුර්ණ අවධානය විසිර යා නොදී නාසිකාව කේන්ද්‍රිය මුහුණ ඉදිරියට යොමුකර ගෙන සිටීමයි. ඔබ හුස්ම ගන්නා විට හුස්ම ගන්නවා කියාද හුස්ම හෙලනා විට හුස්ම හෙලනවා කියාද මෙනෙහි කර බැලිය යුතුය. එය කරන්නට අමුතු ආයාසයක් ගැනීම මෙහිදී අදහස් නොකරන අතර ඔබ විසින් කල යුත්තේ ඔබ හුස්ම ගන්නා බව දැනෙන විට හුස්ම ගන්නා බව දැනගෑනීම පමණකි. 


හුදකලා නිහඩ නිස්කලංක තැනෙක පෙර කී අයුරින් වාඩී වි සිටින්න. එසේ සිටින ඔබගේ මනසේ සම්පුර්ණ අවධානය මුහුණ ඉදිරියට යොමු කරගන්න. දැන් මුහුණ ඉදිරියේ නාසිකාව කේන්ද්‍රිය කොටසට ඔබේ මනසේ සම්පුර්ණ අවධානය යොමුකරගෙන බලා සිටින්න ඔබට කරන්න තියෙන්නේ මේ වගේ දෙයක්. ඔබ ලමුන් සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්න අම්ම කෙනෙක් කියල හිතන්න. ඔබ ළමුන්ට ඔහේ නිදහසේ සෙල්ලම් කරන්න දීලයි තියෙන්නේ. ඒ අතර ඔබ යම් තරමක දුරින් සිට ඒ අය‍ හොදින් පසුවෙනවද දුරට යන්නේ නැද්ද කියලා හොදට ඇහගහගෙන ඉන්නවා. හැම වෙලාවේම අම්මගේ අවධානය තියෙන්නේ දරවන් වෙතට . 


ඒ වගේම තමයි අපේ අවධානයත් සම්පුර්ණයෙන් ම පිහිටුවාගෙන තිබිය යුත්තේ හුස්ම ගැනීම හෙලීම සිදුවෙන නාසිකාග්‍රය වෙතට ය. ඒ ආසන්නයේ සිදුවෙන හුස්ම ගැනීමේ හෙලීමේ ක්‍රියාවලිය දෙස අපට පහසුවෙන් බලා සිටිය හැකිය. ඔබ හුස්ම ගන්නා විට යම් කිසි ආකාරයක දැනීමක් තුලින් ඔබ හුස්ම ගන්නා බව දැනගනීයි එවිට හුස්ම ගන්නා බව මෙනෙහි කලයුතුයි. ‍හුස්ම පිටකරන විටද ඔබට එය යම් අකාරයකින් දැනේ එවිට ඔබ හුස්ම පිට කරන බව දැනගත යුතුය. මෙසේ මේ අයුරින් හුස්ම ගැනීමත් හෙලීමත් සිදුවෙන අතර ඒ කෙරෙහි ඔබගේ මනසේ සම්පුර්ණ අවධානය යොදවා වෙනත් කිසි දෙයකට මනසේ අවධානය ගිලිහී යන්නට ඉඩ නොදී බලා සිටින්න. ඔබ විසින් මූලික පියවරේදී කල යුතු වන්නේ එපමණයි.

ඔබට ඉතාමත්ම සුළු කාලයක් එම ක්‍රියාවලිය තුල සිත තැන්පත්ව තබා ගත හැකි නමුත් වාහාම එය වෙනස් අතකට හැරේ. අවධානය නොහොත් කල්පනවා ඔබ නොදැනුවත්වම වෙනතකට යයි. සමහර විට ඔබගේ මනසේ අවධානය වෙනත් අතකට ගොස් ඇති බව ඔබ දැනගන්නේ  මද වෙලාවක් ගියාට පසුවය. සමහර විටෙක එය විනාඩි පහක් දහයක් ‍හෝ ඊටත් වඩා වැඩි කාලයක් විය හැකිය. මනස එතරම්ම අපට අවනත නොවී අයාලේ යන්නට පුරුදුව සිටියි. භාවනාව කරගෙන යාමට කැමැති ඔබ තුල මේ නොපුහුණු කම අයාලේ යාම එහෙමත් නැතිනම් මනසේ හිතුවක්කාරකම ගැන තරහක් වුව ඇති වීමට පිළිවෙන. මේ මොකද්ද මේ දැන් මේ භාවනා කරන්න ඕනේ වෙලාව මොකටද ‍මේ එක එක ඒවා කල්පනා කර කර ඉන්නේ 

ඔබට එසේ සිතෙනු ඇත. එහෙත් ඔබ විසින් ඒ පිළිබදව ඔබගේ මනස සමග අමනාප කමක් ගොඩ නගා නොගත යුතුය. මෙතෙක් කල් ඔබ විසින් කර ඇත්තේ  මනස සමග සවාරි ගහන එකය. එම නිසා මනසට ඒ දීර්ඝකාලීන පුරුද්ද එක වැර අත් හැරිය නොහැකිය. එබැවින් ඔබ ඉවසිලිවන්තව විදදරා ගනිමින් සාමයෙන් යුතුව ඔබගේ මනසේ සම්පුර්ණ අවධානය හුස්ම ගැනීමත් හෙලීමත් සමග තබා ගැනීම කළ යුතුය.  එසේ කරගෙන යන විට මනස ටිකින් ටික ටිකින් ටික අරමුණ තුලම රදවා තබා ගන්නට ඔබට හැකියාව ලැබේ. එය ඔබ විසින් කල යුතු වන්නේ ආස්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල කෙරෙහිම තමන්ගේ අවධානය යලිත් යථාතත්වයට ගෙන ඒමෙන්ය. මේ අයුරින් ඔබ භාවනාවේ යෙදෙන්න. එසේ කරන කල්හී ඔබට ආස්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල වැඩි වැඩි වසයෙන් ග්‍රහණය කරගනිමින් බාහිර අරමුණු වලින් මනසේ අවධානය ඉවත් කරගනිමින්, ඔබගේ මනසේ අවධානය ආස්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල කෙරෙහිම පවත්වා ගන්නට හැකියාව ලැබෙනු ඇත. 

මේ පිළිබදව අටුවා ග්‍රන්ථයන් හී දක්වන උපමාවක් මෙසේය. 

වනයේ නිදැල්ලේ එහාමෙහා යන ජවසම්පන්න කුළු හරකෙකු වෙයි. කුලුහරකා නිකරුනේ එහෙ මෙහෙ යමින් කමින් බොමින් කටයුතු කරනවා විනා ඌගෙන් අපට කිසි ප්‍රයෝජනයක් නැත. දක්ෂ මනුස්සයෙකු මේ කුළු හරකා දැක මෙසේ කල්පනා කරයි. මේ කුළු හරකා අල්ලාගෙන මගේ වැඩ පලට සම්බන්ධ කරගත්තොත් බොහෝ ම හොදයි කියාය.  

ඔහු බොහෝ මහන්සී ගෙන කුළු හරකාව අල්ලා ගනියි. කුළු හරකාව අල්ලාගෙන කඹයකින් ‍කර බැද ශක්තිමත් කණුවක ගැටගසා තබයි. ‍කුළු හරකාට දැන් නිදැලේලේ යාමට නොහැකිය. ඌට යා හැක්කේ කාඹයේ දුරට පමණකි.  කඹය කඩාගෙන යාමට උත්සාහ දරණ මුත් කඹයේ සවිමත් භාවය නිසා ඌට එයද කරගත නොහැකි වෙයි. කෑම හා වතුර නොදී දවසක් දෙකක් තැබීමෙන් පසුව කුළු හරකාට වතුර ටිකක් දෙනු ලබයි. දැන් කුළු හරකා කණුවට වටේ කැරකී කැරකී සිට කණුවටම පැටළී පැටලී කණුව මුලටම සමීප වී ඇත. දැන් ඒ කුළු හරකාට ලං වීමට හැකිය ඌට වැඩිය දගලන්නට නොහැකි ලෙස ඌ කණුවට හිරවී සිටී. දවස් කීපයකට පසුව කෑම ලැබීමෙනුත් වතුර ලැබීමෙනුත් හා ඔළුව අතගෑම ආදරය දැක්වීම වැනි දේවල් මුල් කරගෙන දැන් අර කුළු හරකාගේ හිත තුල කලින් තිබුණ දඩිබිඩිය නැතිව ගොස් ඌ මනුස්සයාට හිතවත් කම් පායි. මනුස්සයා විසින් දැන් තමන් කැමැති අයුරින් එම කුළු හරකාව පුරුදු කර වැඩෙහි යෙදවිය හැකිය.

ඉහත උපමාව දැන් භාවනාවට ගලපා බැලිය යුතුය.  
කුළු හරකා. දමනයට දුස්කර විසිරුණු සිතය.
කඹය නම් - මනසේ අවධානය පවත්වා ගැනීම නොහොත් සතියයි.
කුළු හරකා බැද තැබු කඹය - භාවනා අරමුණයි. 
කුළු හරකාගේ කඹය ඇති තෙක් එහෙ මෙහෙ යාම _ අවධානයෙහි දුර්වලකම නිසා අරමුණට සෘජුවම සිත සම්බන්ධ නොවීමයි.
කුළු හරකා බැද තැබූ කණුවේ කර මුලටම හිර වීම -  සතිය ටිකින් ටික බලවත්වී භාවනා අරමුණ සමීපයෙහිම සිත රදවා ගැනීමට ඇති කරගත් හැකියාවයි.
කුළු හරකාට දිය හා කෑම නොදීම - හිතට ඕනෑ අයුරින් නටන්නට ඉඩ ප්‍රස්ථා සලසා නොදීම ඕනෑ ඕනෑ දේ සිතන්නට ඉඩ නොදීම. 
කුළුහරකාට දිය හා කෑම දීම -භාවනාව නිසා ලබන නිරාමිස ප්‍රිතියයි.
කුළු හරකා මෙල්ල වීම- භාවනාවේ යෙදී වාසය කරමින් පැවතුන මනස භාවනා අරමුණට අනුව එකගව ඉතිරි ආධ්‍යාත්මික ජිවිතයේ ගුණ දියුණුවට සහයෝගය ලබා දීමයි. 

මනස කුළු හරකෙකුට සමානයයි කිවහොත් ඔබ එය කිසි දිනෙක පිළිගන්නේ නැති විය හැකිය. නමුත් ඔබ භාවනා කරන්නට පෙළඹුන විට නම් එය ඊටත් වඩා අමාරු කාරයෙකු බව වටහා ගනු ඇත. ඔබේ භාවනාවේ සාර්ථකත්වය පිණිස ඉහත සදහන් කරන ලද කරුණු උපකාර කර ගත හැකිය.  ඊළග ලිපිය මෙම අනාපාන සතිය ගැන කියැවෙන අවසන් ලිපිය වන අතර එයින් අනාපාන සතිය හා බැදුණු මූලික බුද්ධ දේශනාවන් පිළිබද ඔබට කරුණු කියැවීමට අවස්ථාව ලැබෙනු ඇති. 

Sep 27, 2011

අග්ගඤ්ඤ සුත්‍රයෙන් පැවසෙන්නේ පෘථුවි සම්භවය හා පෘථුවී ජීවින්ගේ ආරම්භයද..?


විද්‍යාව අද භෞතික ලෝක‍ය විශාල දියුණුවක් කරා රැගෙන ඒමට මහත් වෑයමක් කර තිබේ. එහි ප්‍රතිවිපාක හැටියට යම් යම් කණගාටුදායක් දේ අත්දකින්නට සිදු වුවත්. එයින් යහපතක් නොවුනේ යයි ද නොකිය හැකිය. එයින් මිනිසුන්ගේ ජිවිත පහසු කීරීම වෙනුවෙන් තවත් බොහෝ දේවල් නිර්මාණය කර ඇත.  සුරා'සුරයන් එක්ව මහසයුරකලඹද්දී එයින් අමෘතය සේම හලා හල විසද මතු වූ බව කියනු ලැබේ. එසේ එක් පසක් යහපත් වෙන අතර ලෝකය තුල සිදුවෙන මේ බොහෝ දේවල් වල තව පැත්තක් අයපත් වීම

වැලැක්විය නොහැක්කකි. සර්ව සුබවාදීව හෝ සර්ව අසුබවාදීව ‍දේවල් දෙස නොබැලිය යුත්තේ එබැවිනි.ලෝකය කිසිදිනෙක සර්ව සම්පුර්ණ බවින් යුතු නොවේ. එයට හේතුව ලෝකය සැදී ඇති ආකාරයයි. එය පුර්ණ බව හා අසම්පුර්ණත්වය නැමැති යුගනද්ව ධර්මයන්ගේම නිර්මාණයකි. අපට කාසියක එක් පැත්තක් පමණක් ලබාගත නොහැකිය. එහි මුහුණ පැත්ත සේම අනෙක් පසද කාසිය ලබා ගැනීමේදී අපට ඒකාන්තයෙන් හිමි වෙයි. ලෝකය ඇසුරු කරන අපට මේ දෙයාකාරයකම දේ ලැබීමට සිදුවන්නෙත් එමෙනි.

මේ ප්‍රස්ථාවනාව මෙසේ ලියැවෙන්නේ ඉහත සදහන් මාතෘකාවට ප්‍රවේශයක් ලබා ගැනීම පිණිසය. ලෝකය හා සත්වයා ගැන අද ලෝකය වෙනදාට වඩා උන්නදුවක් දක්වන අතර. ඒවා ගැන මිනිසුන් තුල ඇති කුතුහලයද කිසිදිනෙක නොසන්සිදෙන ආසාවක් ව ඇත. එබැවින් නොයෙක් කරුණු ඔස්සේ ඔවුන් ලෝකය ගැන විවිධ දේ කතා කරති. සොයා ගැනීම් කරති. ඒවා ලෝකයට හදුන්වා දෙති. මේ වනාහී ලෝකය ගැන සොයා යන ඔවුන්ට මුණ ගැසෙන දේ පමණය. ලෝකයට මේ ප්‍රකාශ කරන දෙය තවත් කලකදී බොරුවක් වී වෙනත් දෙයක් ඉදිරියෙන් සිටින්නේ ඒ ප්‍රකාශ කරන හැම දෙයක්ම සම්පුර්ණ සත්‍ය නොවන බැවිනි. ඔවුන්ගේ එම සොයා ගැනීම් යම් පමණකට සත්‍ය වේ. ඒවා සත්‍යයම සත්‍යය නොව ඒවායේ ආයුස තිරණය වන්නේ  තවත් එයින් එහාට සොයා ගැනිමක් කරන තුරු පමණය.

ලෝකය ගැන විද්‍යාව විවිධ පැතිකඩයන් ඔස්සේ නොයෙකුත් සොයාගැනීම් කරමින් සිටි. එබැවින් බෞද්ධ ලෝකයාද බුදු දහමින් ලෝකය ගැන කියා ඇත්තේ කුමක්දැයි විමසා බැලීමට සිතනු ලැබීම විය හැක්කකි. එසේම එය අදද සිදුවන්නකි. බුදු හිමියන්ගේ දේශනාවන් අනුසාරයෙන් ලෝකය පිළිබද සිදුවීම් සොයන ඔවුන්ට ඒ සම්බන්ධ කරුණු අන්තර්ගත සුත්‍ර දේශනාවන් කීපයක් සොයා ගැනීමට හැකිය. ඒවායෙන් අග්ගඤ්ඤ සුත්‍රය ලෝක සම්භවය හා මහා පෘථුවියේ ආරම්භය සමගින් මානවායාගේ ආරම්භය ගැන කතා කරනු ලබන අතර බ්‍රහ්මජාල සුත්‍රයෙන් ලෝකය තුල නොයෙක් දෘෂ්ඨීන් පැතිර යන්නට පදනම් වු මූල හේතුන් විස්තර කර ඇත. නමුත් ඒවා එම දේශනාවේ මුලීක ඉලක්කයට පසුබීම් වන දේවල් මිස එම දේශනාවේ ඉලක්කය නොවන බව අප පැහැදිලිව වටහා ගත යුතුය. එම දේශනාවන්ගේ ඉලක්කය. විමුක්තිමත් වු සිතක් සාදා ගැනීමට මග පෙන්වීමය.

ලෝකයෙහි ආරම්භයේ පටන්ම ‍යම් යම් දේවල් සිදු වෙද්දී ඒවාට බලපා ඇති ප්‍රබලම හේතුන් ලෙස දක්වා ඇත්තේ මිනිසුන්ගේ ආශාව ද්වේෂය හා මෝහමය ක්‍රියාදාමයන්ය. සත්වයන්ගේ දුෂ්චරිතවත් බව වැඩි වෙන්න වැඩි වෙන්න ලාමක අකුසල් පහල වෙන්න පහල වෙන්න ලෝකය තුල වු සැපවත් බව ටිකින් ටික අඩු වේවී අඩු වේවි. ගුණ දහමින් පිරිහුණු අයුරු තව දුරටත් එම සුත්‍ර දේශනාවේ විස්තර වෙනවා. එම සුත්‍ර දේශනාවේ මුලට මෙන්ව අවසානයේදීත් බුදු රජාණන් වහන්සේ අවධාරණයෙන්ම දේශනා කරනු ලබන්නේ  ලෝකයෙ එදත් අදත් කවදත් මතුවටත් ශ්‍රේෂ්ඨත්වය පිණිස හේතු වන්නේ ධර්මය බවය. යම් කෙනෙකු සත්තිස් බෝධි පාක්ෂීය ධර්මයන් පුරුදු පුහුණු කරනු ලබන්නේ නම් වඩන්නේ නම් ඒ තැනැත්තා කුමණ කුලයකට , ජාතියකට අයත් වුවත් ඔහුට ඒ සත්තිස් බෝධී පාක්ෂික ධර්මයන් වැඩීම හේතු කරගෙන  සියළු දුක් නිමා කොට පිරිනිවන් පෑමට හැකියාව ඇති බවත්  ය.

මීළගට ආධ්‍යාත්මික ලෝකය තුල පවතින නොයෙකුත් මිත්‍යා දෘෂ්ඨින් වලට හේතු දක්වන බුදු රජානන් වහන්සේ බ්‍රහ්මජාල සුත්‍ර දේශනාවේදී ඒ ගැන වැඩිදුරටත් මෙසේ සදහන් කරයි. . මේ ලෝකයෙහි බොහෝ ආගමික මතවාද පිටුපස අධීමානසික හැකියාවෙන් යුතුව සිටි සත්වයන්ගේ (සෘෂිවරු වැනි අභිඤ්ඤාලාභි අය) අපරිපුර්ණ ගවේෂණ ඒ සදහා හේතුවි පවතින බව පවසන අතර. ඒවා මිනිසුන් අතරට පත්වු කල්හි ඒවා සම්බන්ධයෙන් සමාන්‍ය බුද්ධියට ‍ගලපා ගත් දෘෂ්ඨිදාමයකට මිනිසුන් හිර වී සිටින බවය. මේ දෘෂ්ඨින්ගේ හට ගැනීම ගැන ප්‍රකාශ කරණ එම සුත්‍ර දේශනාව මිනිසුන්ගේ ආකල්ප කෙරෙහි වැඩිමනත් බලපා ඇති මූලික න්‍යයායන් ඇති වු ආකාරය ගැන වැඩි දුරටත් පැහැදිලි කරනු ලබන අතර එවායෙන් මිදෙන මගද මැනවින් පැහැදිලි කර දෙයි.

මෙම ලිපියේ අදහස අග්ගඤ්ඤ සුත්‍රය හෝ බ්‍රහ්මජාල සුත්‍ර දේශනාවන් ගැන පැහැදිලි කිරීමක් ‍පිණිස නොව , ඒවායේ ඉලක්කය පැහැදිලි කිරීමය. ඉහත සදහන් ජේදද්වයෙන් අපි එම සුත්‍ර දේශනා‍වන් ගැන යම් තරමක අදහසක් ඉදිරිපත් කර ඇති නමුත් එම එක් සුත්‍ර දේශනාවක් පවා මේ ලිපිය මෙන් දහගුණයකට වඩා විශාලබවින් යුතුය. එබැවින් ඒවා කියවනු කැමැති අය එම සුත්‍ර දේශනාවන් ගෙන කියවත්වා. එම දේශනාවන් ඔස්සේ යමින් කියා ඇති කරුණ මැනවින් වටහා ගෙන එදත් අදත් හෙටත් කවදත් ලෝකයේ පුජණීයත්වයට භාජනය වු ධර්මයම ජිවිතයේ සැබෑ පිළිසරණ ලෙසට සිතට ගෙන දහම් මග ගමන් කොට අමා නිවනින් සැනසීම පිණිසම උත්සාහවත් වෙත්වා.

Sep 23, 2011

හුස්ම රැළ්ල හා විසිරුණු මනස (භාවනාව ගැන ඉගෙන ගනිමු. තෙවන කොටස)


දෙවෙනි ලිපියෙන් අප තරමක් දුරට භාවනාව යනු කුමක්ද භාවනා කලයුත්තේ ඇයි භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද යන කරුණු වලට ඉතාමත්ම සරල ඔබේ ව්‍යවහාරයට අනුව යම් අදහස් දැක්වීමක් කර ඇත්තෙමුභාවනාවන් වර්ග බොහෝ ගණනක් ඇතභාවනාවන් වඩන අයුරුද බොහෝ ගනනක් ඇතභාවනාවන් නිසා උපදවා ගත හැකි ධ්‍යාණ සමාධීන් හා සමාපත්තීන්ද බොහෝ ගණනක් ඇතනමුත් මා ඒවා ගැන එම ලිපි දෙකෙහිම කිසිදු සදහනක් නොකෙලෙමි එය දකින ඔබ සමහර විට මා මේ කරන්නට යන්නේ ධර්මය විකෘති කිරීමකි කියන්නට කට සුදානම් කරගෙන ද සිටිනවා ඇත.

මදක් සිතා බලන්න ඔබ පටන් ගත යුත්තේ ඔබ දැන් සිටින තැන සිටයමා අප ලංකාවේ දකින දුර්වලම තත්වය හැටියට දකින්නේ ධර්මය ඉගැන්වීමේදී බාලාංස ළමයින් සදහා උපාධි අපෙක්ෂකයන්ගේ විෂ්‍ය නිර්දේශයන් භාවිතා කිරීම වැනි ක්‍රමයක් වීමයිඑයින් සිදුවන්නේ ධර්මය ගැන වැඩි වැටහීමක් නැති වැඩිපුර කාලයක් යොදවා කටයුතු නොකරන තැනැත්තාට ධර්මය තිත්ත වී යාමයඔහුට ධර්මය කරා එන්නට ඒ තුලින් මගක් නොපැදේඑම නිසා බොහෝ තරුණ තරුනියන් අතර ධර්මය ජිවිතයේ එක්තරා කාලසීමාවකට වෙන් වුවක් ලෙස පිළිගැනීමේ තත්වයක් ඇති වී තිබේඑය කොයි තරම් සෝචනීය තත්වයක්දැයි පවසතොත් අස්වයා ගිය පසු ඉස්තාලය වැසීමට එය සමාන බව කිව යුතුය.


දැන් අප යලිත් අපගේ ප්‍රධාන මාතෘකාව බසිමුහුස්ම රැළ්ල හා විසිරුණු මනසඅද අප මෙම මාතෘකාව ඔස්සේ ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු ‍වන කරුණ නම් භාවනාවක් නොදන්නා කෙනෙකුගේ පටන් දන්නා කෙනා දක්වා එය වඩාත් හොදින් පුරුදු ‍කරණ කෙනෙකු වෙන්නේ කෙසේද එසේත් නැතින්ම භාවනා කරන්නේ කොහොමද යන ගැටළුවට පිළිතුරු ලබා දීමටය.

භාවනා කරන්නේ කෙසේ ද ඔබ කෑම කන්නේ කෙසේදඅචාන් චා හිමියන් වෙත ලැබුණු පැනය හා පිළිතුර එපරිදියඑය එතරම්ම සාමාන්‍ය දෙයක් බැවින් ඒ හිමියෝ එසේ පවසා ඇතඔබ ඔබගේ කායික මානසික වාචසික ක්‍රියාවන්‍ගෙන් තොරව ඔබට ජීවත් විය නොහැකියඔබ ජිවත් වන්නේ මේවා සමගිනිඑම ක්‍රියාවන් සියල්ලම නතර කිරීමක් හෝ ඒවාට පිටින් යමක් කිරීමක් භාවනාව ලෙස හදුන්වනු නොලබයිභාවනාව කරන ආකාරය බො‍හෝමයක් ඇතත් ‍අප මෙහි දක්වන්නේ බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආනාපානසති භාවනවායි.

ආනාපානසති භාවනාව යනු කුමක්ද.?
අනාපානසති භාවනාව වැඩීම සදහා අපට අවශ්‍ය වන්නේ මොනවාද
අනාපාන සති භාවනවා වඩන්නේ කෙසේද.

මේ ඉහත ගැටළු කීපයට අප පිළිතුරු ලබා ගත යුතුයඑයින් පලමු ප්‍රශ්ණය අප අනාපානසතී භාවනාව යනු කුමක්ද යන්නයආනාපාන සතී භාවනාව යනුඅස්වාසය ප්‍රාස්වාසයඑනම් හුස්ම ඉහල ‍ගැනීම හා පහල හෙලීම නැමැති ක්‍රියාවලිය මත තමන්ගේ මනසේ සම්පුර්ණ අවධානය රැදවීමයිඅනාපාන සති හුස්ම ගැනීම හා හෙලීම පිළිබදව මනා අවධානයෙන් සිටීම මෙය අනාපාන සතී භාවනාවයි.

අනාපානසති භාවනාවට අවශ්‍ය දේවල්.

අනාපාන සතී භාවනාව කිරීම සදහා අපට අවැසි වන්නේ නිහඩ නිශ්කලංක විවේකී හුදකලා පරිසරයක්මෙය මුලදී ඉතාමත්ම වැදගත් වෙන කරුණකිභාවනාව කිරීමට ‍වෙන් කරවා ගත් කාලයක්ආනාපාන සති භාවනාව සදහා ඔබ විසින් පලමුවෙන්ම සොයා ගත යුතු එකම දේ නම් නිශ්කලංක පරිසරයයඔබට පසුව ඒ සදහා වේලාවක් වෙන් කරවාගෙන කටයුතු කිරීමට හැකි වෙනුඇතවාඩිවීමේ ඉරියව්ව තවමත් ඔබට හරි හැටි හුරු නොමැති නම්තරමක් ගණකම පොඩි මේට්ටයක් වාඩිවීම සදහා භාවතා කිරීම පහසුවක් වෙනු ඇතිඒ සදහා පහත සදහන් පිංතුර ඔබට මග පෙන්වනු ඇතිමේ අවශ්‍යතාවයන්ගෙන් බාහිර දේවල් මිස අත්‍යාවශ්‍ය ‍ඒවා නොවේ මෙයින් අවැසි වෙන්නේ නිහඩ විවේකී නිශ්කලංක පරිසරයක් හා ඒ සදහා වෙන් කරවා ගත් කාලයක් ය.

අනාපානසති භාවනාව වඩන්නේ කෙසේ ද.

අනාපාන සතීභාවනාව යනු හුස්ම ඉහලට ගැනීම හා පහලට හේලීම සම්බන්ධයෙන් තම මනසේ අවධානය මැනවීන් පිහිටුවා ගැනීම ලෙස අප මුලින් කරුණු කියා ඇත්තෙමුඔබට එය අද්හදා බැලිය හැකියහොද ප්‍රබෝධමත් හුස්මක් ගන්නදැන් ඔබ එය පිට කරන්නයලිත් ඔබ මද වෙලාවක් එම ක්‍රියාව ඔබේ ආයාසයකින් තොරව ස්වයං ක්‍රියව සිදුවෙන අයුරු දෙස නොසැලී බලා සිටින්න වෙනත් කිසිම දෙයක් කෙරෙහි ඔබේ අවධානය එනම් මනසේ අවධානය නොදී හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධයෙන් ම පමණක් අවධානයෙන් යුතුව පසුවන්නආනාපාන සතී භාවනාවේ පලමු පියවර එයයි.

ආනාපාන සතී භාවනාවට උපදෙස් ලබාදෙන භාග්‍යවතුන් වහන්සේ ඒ ගැන ‍පවසා ඇත්තේ මෙපරිදිය.

ඉධ භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතොවා සුඤ්ඤාගාරගතො වා රුක්ඛමුල ගතොවාමහණෙනි ‍අනාපානසති භාවනාව වඩනු කැමැති භික්ෂුව කැළයකට හෝ මිනිසුන්ගෙන් තොර හිස් ගෘහයකට හෝගසක් මුලකට හෝ යයිගොස්.

නිසීදති පළ්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධායපරිමුඛං සතිං උපට්ඨපෙත්වා.පර්‍යංකාසනයෙන් යුතුව කොන්ද කෙලින් තබාගෙන වාඩිවෙයිවාඩි වී සිහිය මුහුණ ඉදිරියට යොමු කර ගනී සිහිය මුහුණ ඉදිරියට යොමු කරගෙන.

සො සතොව අස්සසති, ‍සතෝ පස්සසතිඔහු සිහියෙන්ම ආශ්වාස කරයි සිහියෙන්ම ප්‍රාශ්වාස කරයි.

අනාපාන සති භාවනාවේ පලමු පියවර වෙන මෙයින් එම භාවනාව සිදු කරනු ලබන්නේ කෙසේ ද යන්න ගැන මැනවින් පැහැදිළි කර දෙනු ලබයි.
එය යලිත් වරක් සදහන් කරන්නේ නම්
ඔබ විසින් නිහඩ නිශ්කලංක විවේකි පරිසරයකට පැමිණභාවනාවට වාඩි වෙන ඉරියව්වෙන් වාඩි විය යුතුයඑසේ වාඩි වී කොන්ද කෙලින් තබාගෙන තමන්ගේ මනසේ අවධානය සම්පුර්ණයෙන්ම මුහුණ ඉදිරියට (නාසිකාව කේන්ද්‍ර කරගතයොමුකරගත යුතුයඑසේ මුහුණ ඉදිරියට සිහිය යොමු කරගෙන බලාගෙන සිටින ඔබට ඔබ හුස්ම ගන්න බව හා හෙලන'යුරු දැනෙන්නට පටන් ගනීඑවිට හුස්ම ඉහලට ගන්නා විට හුස්ම ගන්නා බවද හුස්ම පහලට හෙලන විට හුස්ම හෙලනවා බවද මනා අවධානයෙන් යුතුව දැකගන්න දැනගන්නඔබ විසින් කල යුත්තේ එපමණයිඅනාපාන සතිය ගැන දැනගත යුතු තවත් බොහෝ කරුණු රැගෙන ඊළග ලිපියෙන් හමුවෙමුතෙරුවන් සරණයි.

සිව්වන ලිපියට මෙතැනින්   


හුස්ම රැළ්ල හා විසිරුණු මනස (භාවනාව ගැන ඉගෙන ගනිමු. තෙවන කොටස)


දෙවෙනි ලිපියෙන් අප තරමක් දුරට භාවනාව යනු කුමක්ද භාවනා කලයුත්තේ ඇයි භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද යන කරුණු වලට ඉතාමත්ම සරල ඔබේ ව්‍යවහාරයට අනුව යම් අදහස් දැක්වීමක් කර ඇත්තෙමු. භාවනාවන් වර්ග බොහෝ ගණනක් ඇත. භාවනාවන් වඩන අයුරුද බොහෝ ගනනක් ඇත. භාවනාවන් නිසා උපදවා ගත හැකි ධ්‍යාණ සමාධීන් හා සමාපත්තීන්ද බොහෝ ගණනක් ඇත. නමුත් මා ඒවා ගැන එම ලිපි දෙකෙහිම කිසිදු සදහනක් නොකෙලෙමි එය දකින ඔබ සමහර විට මා මේ කරන්නට යන්නේ ධර්මය විකෘති කිරීමකි කියන්නට කට සුදානම් කරගෙන ද සිටිනවා ඇත.

මදක් සිතා බලන්න ඔබ පටන් ගත යුත්තේ ඔබ දැන් සිටින තැන සිටය. මා අප ලංකාවේ දකින දුර්වලම තත්වය හැටියට දකින්නේ ධර්මය ඉගැන්වීමේදී බාලාංස ළමයින් සදහා උපාධි අපෙක්ෂකයන්ගේ විෂ්‍ය නිර්දේශයන් භාවිතා කිරීම වැනි ක්‍රමයක් වීමයි. එයින් සිදුවන්නේ ධර්මය ගැන වැඩි වැටහීමක් නැති වැඩිපුර කාලයක් යොදවා කටයුතු නොකරන තැනැත්තාට ධර්මය තිත්ත වී යාමය. ඔහුට ධර්මය කරා එන්නට ඒ තුලින් මගක් නොපැදේ. එම නිසා බොහෝ තරුණ තරුනියන් අතර ධර්මය ජිවිතයේ එක්තරා කාලසීමාවකට වෙන් වුවක් ලෙස පිළිගැනීමේ තත්වයක් ඇති වී තිබේ. එය කොයි තරම් සෝචනීය තත්වයක්දැයි පවසතොත් අස්වයා ගිය පසු ඉස්තාලය වැසීමට එය සමාන බව කිව යුතුය.


දැන් අප යලිත් අපගේ ප්‍රධාන මාතෘකාව බසිමු. හුස්ම රැළ්ල හා විසිරුණු මනස. අද අප මෙම මාතෘකාව ඔස්සේ ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු ‍වන කරුණ නම් භාවනාවක් නොදන්නා කෙනෙකුගේ පටන් දන්නා කෙනා දක්වා එය වඩාත් හොදින් පුරුදු ‍කරණ කෙනෙකු වෙන්නේ කෙසේද එසේත් නැතින්ම භාවනා කරන්නේ කොහොමද යන ගැටළුවට පිළිතුරු ලබා දීමටය.

භාවනා කරන්නේ කෙසේ ද ඔබ කෑම කන්නේ කෙසේද. අචාන් චා හිමියන් වෙත ලැබුණු පැනය හා පිළිතුර එපරිදිය. එය එතරම්ම සාමාන්‍ය දෙයක් බැවින් ඒ හිමියෝ එසේ පවසා ඇත. ඔබ ඔබගේ කායික මානසික වාචසික ක්‍රියාවන්‍ගෙන් තොරව ඔබට ජීවත් විය නොහැකිය. ඔබ ජිවත් වන්නේ මේවා සමගිනි. එම ක්‍රියාවන් සියල්ලම නතර කිරීමක් හෝ ඒවාට පිටින් යමක් කිරීමක් භාවනාව ලෙස හදුන්වනු නොලබයි. භාවනාව කරන ආකාරය බො‍හෝමයක් ඇතත් ‍අප මෙහි දක්වන්නේ බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආනාපානසති භාවනවායි.

ආනාපානසති භාවනාව යනු කුමක්ද.?
අනාපානසති භාවනාව වැඩීම සදහා අපට අවශ්‍ය වන්නේ මොනවාද
අනාපාන සති භාවනවා වඩන්නේ කෙසේද.

මේ ඉහත ගැටළු කීපයට අප පිළිතුරු ලබා ගත යුතුය. එයින් පලමු ප්‍රශ්ණය අප අනාපානසතී භාවනාව යනු කුමක්ද යන්නය. ආනාපාන සතී භාවනාව යනු. අස්වාසය ප්‍රාස්වාසය. එනම් හුස්ම ඉහල ‍ගැනීම හා පහල හෙලීම නැමැති ක්‍රියාවලිය මත තමන්ගේ මනසේ සම්පුර්ණ අවධානය රැදවීමයි. අනාපාන සති හුස්ම ගැනීම හා හෙලීම පිළිබදව මනා අවධානයෙන් සිටීම මෙය අනාපාන සතී භාවනාවයි.

අනාපානසති භාවනාවට අවශ්‍ය දේවල්.

අනාපාන සතී භාවනාව කිරීම සදහා අපට අවැසි වන්නේ , නිහඩ නිශ්කලංක විවේකී හුදකලා පරිසරයක්. මෙය මුලදී ඉතාමත්ම වැදගත් වෙන කරුණකි. භාවනාව කිරීමට ‍වෙන් කරවා ගත් කාලයක්. ආනාපාන සති භාවනාව සදහා ඔබ විසින් පලමුවෙන්ම සොයා ගත යුතු එකම දේ නම් නිශ්කලංක පරිසරයය. ඔබට පසුව ඒ සදහා වේලාවක් වෙන් කරවාගෙන කටයුතු කිරීමට හැකි වෙනුඇත. වාඩිවීමේ ඉරියව්ව තවමත් ඔබට හරි හැටි හුරු නොමැති නම්. තරමක් ගණකම පොඩි මේට්ටයක් වාඩිවීම සදහා භාවතා කිරීම පහසුවක් වෙනු ඇති. ඒ සදහා පහත සදහන් පිංතුර ඔබට මග පෙන්වනු ඇති. මේ අවශ්‍යතාවයන්ගෙන් බාහිර දේවල් මිස අත්‍යාවශ්‍ය ‍ඒවා නොවේ මෙයින් අවැසි වෙන්නේ නිහඩ විවේකී නිශ්කලංක පරිසරයක් හා ඒ සදහා වෙන් කරවා ගත් කාලයක් ය.

අනාපානසති භාවනාව වඩන්නේ කෙසේ ද.

අනාපාන සතීභාවනාව යනු හුස්ම ඉහලට ගැනීම හා පහලට හේලීම සම්බන්ධයෙන් තම මනසේ අවධානය මැනවීන් පිහිටුවා ගැනීම ලෙස අප මුලින් කරුණු කියා ඇත්තෙමු. ඔබට එය අද්හදා බැලිය හැකිය. හොද ප්‍රබෝධමත් හුස්මක් ගන්න. දැන් ඔබ එය පිට කරන්න. යලිත් ඔබ මද වෙලාවක් එම ක්‍රියාව ඔබේ ආයාසයකින් තොරව ස්වයං ක්‍රියව සිදුවෙන අයුරු දෙස නොසැලී බලා සිටින්න වෙනත් කිසිම දෙයක් කෙරෙහි ඔබේ අවධානය එනම් මනසේ අවධානය නොදී හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධයෙන් ම පමණක් අවධානයෙන් යුතුව පසුවන්න. ආනාපාන සතී භාවනාවේ පලමු පියවර එයයි.

ආනාපාන සතී භාවනාවට උපදෙස් ලබාදෙන භාග්‍යවතුන් වහන්සේ ඒ ගැන ‍පවසා ඇත්තේ මෙපරිදිය.

ඉධ භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතොවා සුඤ්ඤාගාරගතො වා රුක්ඛමුල ගතොවා. මහණෙනි ‍අනාපානසති භාවනාව වඩනු කැමැති භික්ෂුව කැළයකට හෝ මිනිසුන්ගෙන් තොර හිස් ගෘහයකට හෝ, ගසක් මුලකට හෝ යයි. ගොස්.

නිසීදති පළ්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය. පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. පර්‍යංකාසනයෙන් යුතුව කොන්ද කෙලින් තබාගෙන වාඩිවෙයි. වාඩි වී සිහිය මුහුණ ඉදිරියට යොමු කර ගනී සිහිය මුහුණ ඉදිරියට යොමු කරගෙන.

සො සතොව අස්සසති, ‍සතෝ පස්සසති. ඔහු සිහියෙන්ම ආශ්වාස කරයි , සිහියෙන්ම ප්‍රාශ්වාස කරයි.

අනාපාන සති භාවනාවේ පලමු පියවර වෙන මෙයින් එම භාවනාව සිදු කරනු ලබන්නේ කෙසේ ද යන්න ගැන මැනවින් පැහැදිළි කර දෙනු ලබයි.
එය යලිත් වරක් සදහන් කරන්නේ නම්
ඔබ විසින් නිහඩ නිශ්කලංක විවේකි පරිසරයකට පැමිණ. භාවනාවට වාඩි වෙන ඉරියව්වෙන් වාඩි විය යුතුය. එසේ වාඩි වී කොන්ද කෙලින් තබාගෙන තමන්ගේ මනසේ අවධානය සම්පුර්ණයෙන්ම මුහුණ ඉදිරියට (නාසිකාව කේන්ද්‍ර කරගත) යොමුකරගත යුතුය. එසේ මුහුණ ඉදිරියට සිහිය යොමු කරගෙන බලාගෙන සිටින ඔබට ඔබ හුස්ම ගන්න බව හා හෙලන'යුරු දැනෙන්නට පටන් ගනී. එවිට හුස්ම ඉහලට ගන්නා විට හුස්ම ගන්නා බවද , හුස්ම පහලට හෙලන විට හුස්ම හෙලනවා බවද මනා අවධානයෙන් යුතුව දැකගන්න දැනගන්න. ඔබ විසින් කල යුත්තේ එපමණයි. අනාපාන සතිය ගැන දැනගත යුතු තවත් බොහෝ කරුණු රැගෙන ඊළග ලිපියෙන් හමුවෙමු. තෙරුවන් සරණයි.  

Sep 21, 2011

හුස්ම රැළ්ල හා විසිරුණු මනස (භාවනාව ගැන ඉගෙන ගනිමු. දෙවන කොටස)

පලමු ලිපිය නොකියවුයේ නම්  ඔබට ඒ සදහා මෙතැනින් පිවිසිය හැකිය. හුස්මරැළල හා විසිරුනු මනස (භාවනාව ගැන ඉගෙන ගනිමු .පලමු කොටස.) 

ගියවර ලිපියෙන් අචන් චා හිමියන් මුණ ගැසෙන්නට පැමිණි. මහාචාර්‍ය වරයෙකු උන්වහන්සේගෙන් භාවනාව ගැන ඇසු ප්‍රශ්ණ හතරක් හා ඒවාට අචාන් චා හිමියන් දුන් පිළිතුරු ගැන සිහිපත් කරන ලදි. අද එතැන් සිට.

අප ආහාර ගැන දන්නෙමු. අහාර ගන්නේ කුමක් සදහාද යන්න ගැනද අපට අවබෝධයක් ඇත, ආහාර ගන්නේ කෙසේ ද යන්න ගැනද අප දැනුවත් වන අතර ආහාර ගැනීමෙන් අපට ලැබෙන දේ එනම් ශරීරය ශක්තිය වර්ධනය හා දිවි පැවැත්වීම ගැන අප දැනුවත්ම සිටිමු. එය එසේ නොවේද.? එසේ නම් ඔබේ ජිවිතයේ පැවැත්ම වෙනුවෙන් ඔබේ ආහාර ගැනී‍ම කොයි තරම් දුරට බල පාන්නේද , ඒ හා සමාන බලපෑමක් භාවනාව තුලින් ඔබේ මනසේ සැනසුම පිණිස සහනය පිණිස ශක්තිය හා සතුට උපකාර වේ.

අප ජිවිතයේ නොයෙක් දුක් වේදනා විදිමින් ‍අප්‍රමාණ වෙහෙසක් ගන්නේ මේ සතුට ලබා ගැනීම පිණිසමය. එසේ නමුත් අප නොමනා සේ කතා කරන්නට යාමෙන් හා ක්‍රියා කරන්නට යාමෙන් ද සිතන්නට පෙළඹීමෙන්ද අප අහිමි කරගන්නා වටිනාම දේත් අපගේ සතුටයි. සොම්නසයි. ඔබට කෙතරම් මුදල් තිබුණද, දේපල වස්තුව තිබුණද , ඤාතීන් සිටියද, ඔබේ සිත කනස්සල්ලෙන් නම් , ඔබේ හිත දුකට පත්වී නම්, ඔබේ හිත ලතැවිල්ලෙන් නම් ඔබේ සතුට තවදුරටත් ඔබ සමග නොපවතී. මෙය අද්දැක තිබේද. ඔබට මතක නැති විය නොහැකිය. එය සැබැවින්ම ඔබ අද්දැක ඇති සත්‍යයකි. නමුත් ඔබ එය ඒ අයුරින් මෙතෙක් කල් දැක නැතුවා විය හැකිය.

මතක තබා ගන්න. ඔබ බාහිර ලෝකය පුරා යමින් සෙව්වද ඔබට සැබෑ සැනසුම ‍සතුට සොම්නස කිසි දිනෙක බාහිර ලෝකය තුලින් නොලැබේ. ඒවා ලබා ගැනීම පිණිස කල යුතු වන්නේ ඔබේ අභ්‍යන්තර මනෝභාවය පිළිබද අවබෝධයක් ලබා ගනිමින් , ඒවාට නොනිස අයුරින් හැසිරෙන්නට ඇති ඉඩ කඩ අසුරා දැමීමය. එය අපහසු කාර්‍යයක් නොවේ එය හරිම පහසුය අපහසුව ඇත්තේ එය නොව එය කරණ ක්‍රමවේදයන් පිළිබදව අප තවමත් නොදන්නා බැවිනි.

භාවනාව යනු කුමක්ද ?
භාවනා කලයුත්තේ ඇයි
භාවනා කරන්නේ කෙසේ ?
භාවනාවෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද

භාවනාව යනු මනසට ලැබේන පෝෂණීයම ආහර වේලයි. අපභාවනා කල යුත්තේ මනස දුර්වලව පවත්වා ගැනීම අපගේ සැපයට සතුටට සොම්නසට විශාල හානියක් එම දුර්වල මනස සිදු කරන නිසාය. අපගේ සිත තුල වතින නොයෙකුත් දුක් සහ‍ගහ හා දොම්නස් සහගත මනෝ භාවයන්ට හේතුව ඇත්තේ දුර්වල ශක්ති හීන මනසයි. එබැවින් මනසේ ශක්තිය වර්ධනය කර ගැනීම පිණිස අප භාවනා කල යුතු වෙමු. එය අපගේ මනසට ලැබෙන ප්‍රණීතම ආහාර වේලයි.

මනස එයින් මහත් ප්‍රිතියට පත්වෙන අතර ඒ ප්‍රිතිමත් භාවය තුලින් ඔබව සැපවත් කරනු ඇත. බාහිර ලෝකයෙන් ඔබ ලබන යම් සතුටක් සැනසීමක් වේද ඒ සියළු සතුට සැනසුම ඉක්මවා ගිය ශාන්ත සුවදායි සුන්දර සැපතක් භාවනාව ඔබට උරුම කර දෙන්නේ ය. භාවනා කර නොමැති කෙනෙකු නම් ඔබට මෙය වටහා ගැනීමට වැඩි කාලයක් අවශ්‍ය නැත ඔබ විසින් විනාඩි පහලොවක් විස්සක් භාවනාවේ යෙදී බලන්න. එසේ භාවනාවේ යෙදී වාසය කරන ඔබ විසින් කල යුතු වන්නේ වඩාත් නිවැරදි අයුරින් භාවනාවේ යෙදී වාසය කිරීම පමණයි. එවිට ඔබට භාවානාව නැමති ප්‍රණීත වු මානසික ආහාර වේලෙන් ඔබට ලැබෙන සැපය හා ශක්තිය ගැන දැනුවත් භාවයක් ඇති කර ගත හැකිය.

මෙතෙක් අප විසින් මාහාචාර්‍ය වරයාට නොතේරුණු අචන් චා හිමියන් ආහාර මුල් කරගෙන පහදා දුන් විස්තරයට අනුව භාවනාව ගැන ඉගෙන ගත්තෙමු. දැන් අප භාවනාව යනු කුමක්දැයි දන්නෙමු. භාවනා කළයුත්තේ මක්නිසාද යන්න හා භාවනාවෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද යන්න ගැන කතා කර ඇත. භාවනා කරන්නේ කෙසේද ? අප හට තවදුරටත් කතා කරන්නට ඉතිරිව ඇත්‍තේ මෙයයි. භාවනා කරන්නේ කෙසේ ද යන්නට පිළිතුරු රැගෙන අප ඊළග ලිපියෙන් මුණ ගැසෙන තෙක් ඔබට තෙරුවන් සරණයි.

හුස්ම රැල්ල හා විසිරුණු මනස (භාවනාව ගැන ඉගෙන ගනිමු -පලමු කොටස.)

සිත හැම විටම සක්‍රියව පවතී. දැනට  එයට ‍විවේකයක් ලැබෙන්නේ නින්දට පත්වීම තුලින් පමණකි.  දුර ගමනක යෙ‍දී වාසය කරන තැනැත්තාට ගමන් වෙහෙස අධිකය. ඒ නිසා ඔහුට පුංචි දුර පවා මහා දුරක් සේ දැනේ. පුංචි බර පවා මහා බරක් සේ දැනේ. නමුත් එයට හේතුව දුර ගමන් යන තැනැත්තාගේ මහන්සියට අනුව දුර හෝ බර වැඩිවෙන නිසා නොව ඒවා වැඩියෙන් දැනෙන නිසාය. ක‍යික දුබලතාවය හේතුවෙන් ඒවා එසේ දැනෙන්නට පටන් ගනී. මෙය කියවන ඔබ සිරිපා කරුණාකර ඇතැයි සිතමි. සිරිපා කරුණා කරන ඔබ හැටන් හැටන් පැත්තෙන්  ගමන පටන් ගත්තත් එය ක්‍රිලොමිටර් හතරක් පමණ පයින් එක පිම්මේ සිරිපා කන්ද නගින්නට ඔබට සිදුවෙනු ඇත. ගමන පටන් ගන්නා විට  ඔබට ලොකු ප්‍රබෝධමත් බවක් ඇත. නමුත් පලමු කිලොමිටරය පසු කරන විට ටික ටික ඔබගේ අර තිබුණ ජවය හීනවී ගොස්ය. අන්තිම කිලොමිටරය ඔබ නගිනුයේ මීටර් පනහෙන් විසිපහෙන් තැන තැන නතර වෙමින් විය හැකිය. අනේ මට නම් බෑ ඔබ ඔබටම මුමුණා ගන්නවාද විය හැකිය. ඒ කන්ද  වැඩි නිසා පමණක් නොව ඔබට මහන්සි වැඩි නිසාය. ‍සිරුරේ ශක්තිය බොහෝ ප්‍රමාණයක් ඔබ ඒ වෙන විටත් ගමනට වැය කර ඇති නිසාය.

භාවනාව ගැන කතා කරන්නට පැමිණ දැන් සිරිපා ගැන කතාකරන්නේ මොන එහෙකටදැයි ඔබට සිතෙනු ඇත. භාවනාව යනු කුමක්දැයි නොයෙක් සංකල්ප තුල එල්ලීගෙන විශ්ලේෂන කරගන්නා බොහෝ අය සත්‍ය වසයෙන්ම භාවනාව යනු කුමක්දැයි නොහදුනති. එයට හේතුව වි ඇත්තේ ඒවා නිකම්ම නිකම් සංකල්ප පමණක් වන නිසාය. දිනක් ම‍නෝ විද්‍යාත්මක පර්යේෂණයක යෙදෙන මහාචාර්‍ය වරයෙකු අචාන් චා හිමියන් හමුවී උන් වහන්සේගෙන් ඔහුගේ පර්යේෂනවලට අදාලව වැදගත් ප්‍රශ්ණ කීපයක් අසා ඇත.


01.භාවනාව යනු කුමක්ද ?
02.භාවනා කල යුත්තේ ඇයි. ?
03.භාවනා කරන්නේ කොහොමද ?
04.භාවනා කිරීමෙන් අපට ලැබෙන්නේ මොනවාද ?

අචාන් චා හිමියන්ගේ පරිවර්ථකයා උන්වහන්සේගේ පිළිතුරු මෙසේ පරිවර්ථනය කරන ලදි.

01.ආහාර යනු මොනවාද?
02.අපි ආහාර ගන්නේ ඇයි
03.අපි ආහාර ගන්නේ කොහොමද
04.ආහාර ගැනීමෙන් අපට ලැබෙන්නේ මොනවදාද

මහා චාර්‍ය වරයාට අවශ්‍ය සියළුම පිළිතුරු එහි අඩංගු වුවත් ඔහු සැබැවින්ම බලාපොරොත්තු වුයේ වෙනත් දෙයකි. හිත නරක් කරගත් ඔහු යන්නට ගොස් ඇත. ඔහු මදක් බුද්ධිමත්ව කල්පනා කරනු ලැබුවේ නම් අචාන් චා හිමියන් සමග  සරලත්වයෙන් ගැඹුරට පිවිසෙන ඉතාමත් පැහැදිලි ධර්ම කරුණු රාසියක් ලබා ගන්නට ඔහුට හැකියාව තිබිණි. නමුත් ඔහුට එවන් ඕනෑ කමක් නොතිබුණී. ඔහුට ඕනෑ වී තිබුනේ ගෙඩිය පිටින් ගිලීමට මිස  පැහැදිලිව යමක් වටහා ගැනීමට නොවේ. ඔබත් මහාචාර්‍යවරයාට සමාන නම් මේ ලිපියෙන් ඔබට වැදගත් දෙයක් හමු නොවනු ඇත.

ඔබ යමක් ඉගෙන ගත යුත්තේ ඔබේ ජිවිතයට ගලපා බලමිනි. ඔබේ සාර්ථකත්වයේ රහස එයයි. දැන් ඔබ භාවනාව ගැන වුවද ඉගෙන ගන්නා විට ශාස්ත්‍රිය ලෙස හැදෑරීමකදී ඔබට එය ජිවිතයට සම්බන්ධ කරගැනීමට අසීරු දෙයක් බවට පත් වෙනු ඇත. එය හුදු දැනුමක් පමණක් වනු ඇති අතර එය ප්‍රායෝගිකව ගලපා ගැනීමට යාමේදී ඔබව අතරමං කරනු ද ඇත. එබැවින් සංකල්ප තුල හිර නොවන්න.  භාවනාවේ පැහැදිලි ක්‍රමවේදයක් වන හුස්ම රැල්ල විමසා බැලීම පිළිබද භාවනාව  එනම් අශ්වාස ප්‍රාශ්වාසය හැම විටම ඔබ ලගම පවතින දෙයක් වුවත් ඔබට ආශ්වාස ප්‍රාශ්වාසය සමග භාවනා කරන්නට ඉගෙන ගත යුතු නොවේද. එය අමුතු හෝ නොතේරෙන නොවැටහෙන දෙයක් බවට පත්වී ඇත්තේ මක් නිසාදැයි ඔබම කල්පනා කර බලන්න. එය එසේ නොවේ එය සැබැවින්ම සරල භාවනා ප්‍රවේෂයකි.

ඔබට කලයුතුව ඇත්තේ එම හුස්ම රැල්ල සමගින් ඔබේ මනසේ අවධානය මනාකොට පවත්වා ගනිමින් සිටීම පමණකි. නමුත් ඒ ගැන පැහැදිලිව නොදන්නා ඔබ භාවනාව නිසාද අවුලට පත් වෙනු ඇත. මෙය මෙසේ කරන්නේ කොහොමද අරක එසේ කරන්නේ කොහොමද මොනවත් වෙනසක් නොදැනෙන්නේ මක්නිසාදැයි කියා ඔබ ඔබෙන්ම ප්‍රශ්න කර ගන්නවා ඇති. භාවනාව ගැන අපි පැහැදිලිව ඉගෙන ගනිමු. ඔබට භාවනාව ගැන ඉගෙන ගන්නට කැමැති නම් " හුස්ම රැල්ල හා විසිරුණු මනස " යන ‍‍මැයෙන් සරල ප්‍රවේෂයක් ඔස්සේ අපි ඒ ගැන කතා කරමු. දැනට ඔබට අචාන් චා හිමියන් මහාචාර්‍ය වරයාට ලබා දුන් පිළිතුරු ටික හා භාවනාව අතර ඇති සම්බන්ධතාවය ගැන විමසා බැලිය හැකිය. දෙවෙනි කොටසින් මුණ ගැසෙන තුරු. ඔබට තෙරුවන් සරණයි.
දෙවෙනි ලිපිය.

අමතද්වාරය කොයිබටද...

My photo
බොහෝ තැන දහම් පංති හා වැඩසටහන් තිබුනද ලංකාව පුරා ඇති මෙම ආයතනවලින් ‍බොහෝමයක් ගැඹුරු දහම් කතා කරනමුත් ධර්මය කරා පැමිණෙන. තරුණ කැල ‍උදෙසා පැහැදිලිව ධර්මය සංනිවේදනය කෙරෙන බවක් පෙනෙන්නට නොමැති බැවින් ධර්මය ගැන වැඩි දැනුමක් නැති මුත් බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් ජිවිතයට සම්බන්ධකරගන්නට කැමැති යෞවණයන්ගේ ජිවිත වලට සදහම් ඇසුරු ලැබෙන ජිවිතයක් කරා විවර වෙන අමතද්වාරය වෙත ඔබත් පැමිණෙන්න

Followers